මංගලගේ ‘සංචාරක පොඩ්ඩන්ට‘ කැබිනට් අනුමැතිය

    June, 19, 2019

    මෑතක දී සිදු වූ ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් සංචාරක ක්ෂේත්‍රයේ අනාගතය සම්බන්ධයෙන් එල්ල වූ තර්ජනය සැලකිල්ලට ගෙන එම ක්ෂේත්‍රය නඟාසිටුවීම සඳහා සහන පැකේජයක් ලබා දීමට අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙන ලදී.

    එයට අමතරව එකී සිද්ධිය හේතුවෙන් බලපෑමට ලක් වූ සංචාරක කර්මාන්තය හා සම්බන්ධ අනෙකුත් ක්ෂේත්‍රයන් සඳහා ද සහන ලබා දෙන ලෙස ඉදිරිපත් වූ නියෝජනයන් සලකා බලමින් එම අංශ සඳහා ද පෙර ලබා දුන් සහන තවදුරටත් පුළුල් කිරීම සඳහා ක්‍රියාකරනු ලැබ තිබේ.

    ඒ අනුව සංචාරක කර්මාන්තයේ නියැලී සිටින ආයතන හා පුද්ගලයින් සඳහා හඳුන්වාදුන් කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමය වෙනුවෙන් 2020 මාර්තු 31 දින දක්වා සහන කාලයක් ලබා දීම හා ඒ සඳහා වන ණය සුරැකුම් අරමුදලේ ආවරණය පුළුල් කිරීම, මගී බස්රථ හිමියන් සඳහා 2019 ජූනි 30 දක්වා මාස 02ක ණය සහන කාලයක් ලබා දීම, සංගීත කණ්ඩායම් සඳහා ද සංචාරක කර්මාන්තය හා සම්බන්ධ ව්‍යාපාර කටයුතුවල යෙදී සිටින කුඩා පරිමාණයේ අවිධිමත් අංශවල පුද්ගලයින් හා ආයතනවලට අවශ්‍ය මූල්‍ය සහාය ලබා දීම සඳහා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මඟින් ක්‍රියාත්මක කරනු ලබන ‘සංචාරක පොඩ්ඩෝ‘ සහන ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම යනාදී සහන ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.