මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම සම්බන්ධයෙන් ගුරුවරුන් දැනුවත් කිරීමට ජෝන් කීල්ස් පදනම හා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය එක්වෙයි

    March, 29, 2021

    නාගරික ප්‍රදේශ වල මෙන්ම ග්‍රාමීය ප්‍රදේශ වලද පාසල් සිසුන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීම මේ වනවිට විශාල ගැටලුවක් බවට පත්වී තිබේ. මත්ද්‍රව්‍ය භාවිතය යනු මෙම සිසුන්ට පාසල් හැරයාමට මෙන්ම සෞඛ්‍ය, පවුල් හා සමාජයීය ගැටලු රාශියකට මුහුණ දීමට හේතු වන සාධකයකි. මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීමේ සම්භාවිතාව අවම කරන පරිසරයක් නිර්මාණය කිරීමේදී පාසල් සිසුන් දැනුවත් කිරීමට අමතරව, මත්ද්‍රව්‍ය භාවිතය නිසා සිසුන්ට ඇතිවන බලපෑම් සම්බන්ධයෙන් ගුරුවරුන් හා දෙමාපියන් නිසි පරිදි දැනුවත් කිරීමද අත්‍යවශ්‍ය වෙයි.

    ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන ප්‍රමුඛතම රාජ්‍ය ආයතනය වන අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සමග එක්වී, මත්ද්‍රව්‍ය අවභාවිතය වැළැක්වීමේ ව්‍යාපෘතියක් පාසල් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට ජෝන් කීල්ස් පදනම පියවර ගෙන තිබේ. ජෝන් කීල්ස් පදනම යනු ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ ප්‍රජා සත්කාර අංශය වන අතර, එහි අවධානය යොමුවන එක අංශයක් වන 'සෞඛ්‍යය' යටතේ මෙම සත්කාරය ක්‍රියාවට නංවා ඇත. මෙම නියමු ව්‍යාපෘතිය යටතේ මේ වනවිට ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩමුළු 2 ක් පවත්වා තිබේ. කොළඹ අධ්‍යාපන කලාපයේ පවත්වන ලද වැඩමුළුවට පාසල් 41 ක් නියෝජනය කරමින් ගුරුවරුන් 45 දෙනෙකු සහ විදුහල්පති වරුන් 3 දෙනෙකු සහභාගී වූ අතර, ශ්‍රී ජයවර්ධන අධ්‍යාපන කලාපයේ පැවති වැඩසටහනට පාසල් 50 ක් නියෝජනය කරමින් ගුරුවරුන් 60 දෙනෙක් සහ විදුහල්පතිවරුන් දෙදෙනෙක් සහභාගී වූහ. මෙම වැඩමුළු දෙකම අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගීත්වය සමගින් පවත්වන ලදි.

    මෙම වැඩමුළු වලට සහභාගී වූවන් හමුවේ අදහස් දක්වමින්අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති වෛද්‍ය ලක්නාත් වෙලගෙදර මහතා මෙසේ පැවසී ය. "ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහයෝගය සමගින් 'ශික්ෂා' ජාතික වැඩසටහන ආරම්භ කිරීමට අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය කටයුතු කළා. මෙහි අරමුණ වන්නේ මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් ගුරුවරුන්, සිසුන් හා ප්‍රජාව දැනුවත් කිරීමයි. මත්ද්‍රව්‍ය ප්‍රතික්ෂේප කරමින් සෑම විටම නිවැරදි තීරණ ගැනීමේ හැකියාව සහිත සිසු පරපුරක් නිර්මාණය කිරීම සම්බන්ධ වගකීම ගුරුවරුන්, අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රමුඛව අප සියලුම දෙනා වෙත පැවරී ඇති බව මා විශ්වාස කරනවා. ජෝන් කීල්ස් පදනම විවිධ අංශ ඔස්සේ රටේ සංවර්ධනය වෙනුවෙන් ඉටුකරන අනුපමේය මෙහෙවර අපගේ ඇගයීමට ලක්විය යුතුයි. මෙම වැඩසටහන වෙනුවෙන් අපට ඔවුන්ගේ පූර්ණ මූල්‍ය අනුග්‍රාහකත්වය ලැබී තිබෙනවා. මෙම වටිනා මෙහෙවර වෙනුවෙන් මේ ආකාරයට අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයට ලබාදෙන සහයෝගය වෙනුවෙන් මා එම පදනමට මගේ කෘතඥතාව පළකිරීමට කැමතියි."

    දින 3 ක් පුරා පැවති මෙම අන්තර්ක්‍රියාකාරී වැඩමුළු වලදී, මත්ද්‍රව්‍ය අවභාවිතය සම්බන්ධ ගැටලු වලට මුහුණ දී සිටින සිසුන් හඳුනා ගැනීම, ඔවුන් සම්බන්ධයෙන් ගතයුතු පියවර, උපකාර ලබාගත හැකි ආකාරය සහ එවැනි සිද්ධීන් ඉදිරියේදී සිදුවීමේ ඉඩකඩ වළක්වන ආකාරය යනාදිය සම්බන්ධයෙන් ගුරුවරුන්ට පූර්ණ වශයෙන් දැනුම හා පුහුණුව ලබාදෙන ලදි. වඩාත් ඵලදායී, සුරක්ෂිත හා නීරෝගී සමාජයක් ගොඩනැංවීම සඳහා, දරුවන් හා ප්‍රජාව අතර යහපත් ආකල්ප හා වටිනාකම් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරිව, මෙම වැඩමුළු තුළදී ලබාගත් දැනුම හා පුහුණුව තම පාසල් තුළ භාවිතා කිරීමට අදාළ ගුරුවරුන්ට හා විදුහල්පති වරුන්ට උපදෙස් ලබාදෙන ලද අතර, ඉදිරියේදී මෙම උත්සාහයේ ප්‍රතිඵල විශ්ලේෂණයට ලක්කෙරෙනු ඇත.

    සමාප්ති උත්සවයේ සහතික පත් බෙදාදීමෙන් අනතුරුව අදහස් දක්වමින්, ජෝන් කීල්ස් පදනමේ මෙහෙයුම් ප්‍රධානී කාමලීන් ජයසූරිය මෙනවිය මෙසේ පැවසුවා ය. "නිරෝගී හා ඵලදායී සමාජයක් නිර්මාණය කිරීමට නම් අප එහි සාමාජික සාමාජිකාවන්ගේ කායික හා මානසික යහපැවැත්ම තහවුරු කළ යුතුයි. විශේෂයෙන්ම දරුවන් හා තරුණ තරුණියන් අතර මත්ද්‍රව්‍ය භාවිතය නිසා ඇතිවන අහිතකර හා දීර්ඝකාලීන බලපෑම් පිළිබඳව අප හොඳින් දන්නවා. එවැනි බලපෑම් වලට නතු නොවන ආකාරය පිළිබඳව දරුවන් දැනුවත් කිරීමේ සහ, ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය සහයෝගය ලබාදීමේ සුවිශේෂී වගකීම, ගුරුවරුන් ලෙස ඔබ සතුයි. මෙම වැඩමුළු මගින් ලබාගත් දැනුම හා අත්දැකීම් භාවිතා කරමින්, එම වගකීම ඉටුකරමින් 'ශික්ෂා' වැඩසටහනේ පරමාර්ථය ඉෂ්ට කරගැනීමට දායක වන මෙන් මා ඔබ සියලුම දෙනාගෙන් ඉමහත් ඕනෑකමින් යුතුව ඉල්ලා සිටිනවා. එමෙන්ම, COVID-19 රෝග ව්‍යාප්තිය හමුවේ පවා කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර කලාප අධ්‍යාපන කාර්යාල සමග එක්වී මෙම වැඩමුළු දෙක සංවිධානය කිරීම වෙනුවෙන් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයට මාගේ ස්තූතිය හිමිවිය යුතුයි."

    කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ පී. එල්. ජී. පී. ප්‍රියන්ත මහතා අදහස් දැක්වූයේ මෙසේ ය. "උපදේශක ගුරුවරයෙකු ලෙස, මගේ දැනුම යාවත්කාලීන කරගන්නට මා මෙම වැඩසටහනට සහභාගී වුණේ ඉතාමත් උනන්දුවෙන්. මා මීට පෙරත් මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් මෙවැනි වැඩසටහන් වලට සහභාගී වී තිබෙන නමුත් මෙම වැඩසටහන ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. විශේෂඥයන් කණ්ඩායමක් විසින් මෙය පවත්වන ලද්දේ අන්තර්ක්‍රියාකාරී වැඩසටහනක් ලෙසටයි. එහිදී අපගේ ගැටලු ඉදිරිපත් කිරීමටත් අවස්ථාව ලැබුණා. මෙවැනි වැඩසටහනක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයට, අධ්‍යාපන අමාත්‍යංශයට සහ ජෝන් කීල්ස් පදනමට මගේ ස්තූතිය හිමිවනවා. ඒ වගේම ඔබ ආරම්භ කළ මෙම මෙහෙවර ඉදිරියට ගෙන යමින්, පාසල් වෙත මෙම පණිවිඩය සන්නිවේදනය කරමින්, එමගින් සිසුන්ට යහපත උදාකර දීමට අප සූදනම් බවත් මේ මොහොතේදී ප්‍රකාශ කිරීමට කැමතියි."

    සෞඛ්‍යය යනු ජෝන් කීල්ස් පදනමේ (ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ ප්‍රජා සත්කාර අංශය) මූලික අවධානය යොමු වී ඇති අංශ 6 අතරින් එක් අංශයකි. කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත වී ඇති සමාගම් අතරින් විශාලතම සමාගම වන, වසර 150 කට අධික ඉතිහාසයක් ඇති ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධව ක්ෂේත‍්‍ර 7 ක් ආවරණය කරන සමාගම් 70 කට අධික සංඛ්‍යාවක් ක‍්‍රියාත්මක වේ. LMD සඟරාව මගින් අඛණ්ඩව වසර 15 ක් තිස්සේ මෙරට වඩාත්ම ගෞරවය දිනූ සමාගම ලෙස නම්කර ඇති ජෝන් කීල්ස් හෝල්ඩින්ස් හි සේවය කරන සංඛ්‍යාව 14,000 කට අධික ය. World Economic Forum හි පූර්ණ සාමාජිකයෙකු සහ UN Global Compact හි හවුල්කරුවෙකු වන එම සමාගම ‘අනාගතය වෙනුවෙන් රට සවිබල ගැන්වීම’ යන දැක්ම පෙරදැරිව තම සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන ‘Plasticcycle’ ඔස්සේ ප්ලාස්ටික් නිසා රට තුළ ඇතිවන පරිසර දූෂණය අවම කිරීම සඳහා කටයුතු කරමින් සිටී.