‘මන්නාරමේ සුළං විදුලි බලාගාරයක් ඉදිකිරීම අදානි ට දීම නීතියට පටහැනියි’ – ශ්‍රී ලංකාවේ ජාල ගත සුළං විදුලි බල සංවිධානය

    June, 3, 2022

    ශ්‍රී ලංකාවේ ජාල ගත සුළං විදුලි බල සංවිධානය විසින් 2022 ජුනි 02 දින නිකුත් කරන මාධ්‍ය නිවේදනය

    මෙගා වොට් 500ක සුළං විදුලි බලාගාරයක් කිසිදු ලන්සු කැඳවීමකින් තොරව සහ ශ්‍රී ලංකාවේ පවතින නීතියට පටහැනිව දේශපාලන මැදිහත්වීමක් මඟින් ඉන්දියාවේ අදානි සමගම වෙත ලබා දීම සහ ඒ තුලින් ඩොලර් මිලියන 3,300 ක මුදලක් රටින් බැහැර කිරීම.

    මන්නාරම සහ පූනරින් යනු සුළං බලශක්තිය නිපදවීම සඳහා ලෝකයේ ඇති ඉතාමත්ම සුදුසු ප්‍රදේශ වලින් එකක් බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) විසින් 2001 වර්ෂයේ සිදු කරනු ලැබූ සවිස්තරාත්මක අධ්‍යනයේදී විද්‍යාත්මකව අනාවරණය වූ ඉතාමත්ම සාධනීය කරුණකි.

    මෙම ප්‍රදේශයේ පවතින අපිරිමිත සුළං ප්‍රවාහය යොදාගනිමින් ශ්‍රී ලංකාවේ ජාතික විදුලි අවශ්‍යතාවයෙන් 20% ක් පරිසර හිතකාමී ලෙස ඉතා අඩු මිලක් යටතේ පහසුවෙන් නිෂ්පාදනය කල හැකිය. දැනටමත් ලංවීම මඟින් ක්‍රියාත්මක මෙගා වොට් 100ක ධාරිතාවයෙන් යුතු තම්බපවනී සුළං විදුලි බලාගාරය මෙයට කදිම නිදසුනකි. අනාගතයේදී ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාවය ඇති කරගැනීම සඳහා පහසුම මාර්ගය මෙම මන්නාරම ප්‍රදේශයේ සුළං විදුලි බලාගාර ඉදිකිරීමයි.එබැවින් 2021 වර්ෂයේ සම්පාදිත ලංවීම දීර්ඝ කාලීන ජනන සැලස්මටද එය ඇතුලත් කර ඇත.

    කෙසේ වෙතත් වර්තමාන රජය 2019 වර්ෂයේ බලයට පත්වීමෙන් අනතුරුව 2022 වර්ෂයේ මුල භාගයේදී ගෙන එන ලද කැබිනට් පත්‍රිකාවක් මඟින් ඉන්දියාවේ අදානි සමාගම වෙත මන්නාරම ප්‍රදේශයේ මෙගා වොට් 500ක සුළං විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා අවසර ලබාදීමට කටයුතු කරමින් සිටින බව අප සංවිධානය වෙත දැනගැනීමට ලැබී ඇත.

    මෙම ක්‍රියාදාමයේ තවත් ඉදිරි පියවරක් වශයෙන් මෙම ව්‍යාපෘතිය සඳහා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ අවසරය ලබා දෙන මෙන් වර්තමාන විදුලි බල සහ බලශක්ති ඇමතිවරයා විසින් සුනිත්‍ය බලශක්ති අධිකාරිය වෙත පසුගියදා නියෝග කර ඈති බවද අප වෙත දැනගැනීමට ලැබී ඇත.

    මූලික වශයෙන්ම යථෝක්ත කැබිනට් මණ්ඩල තීරණය ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ ඊට සමගාමී වන වර්තමාන නීතිමය තත්වය සමඟ අනනුකූල බවත් එම නිසා එම කැබිනට් තීරණය මුල සිටම ශුන්‍ය සහ බල රහිත බවත් අපගේ නීතිඥයන් පෙන්වා දී ඇත.

    එබැවින් එම අසාධාරණ වූත් නීතිමය වශයෙන් බල ශුන්‍ය වූත් කැබිනට් තීරණ බුද්ධිමත් රාජ්‍ය නිලධාරීන් විසින් ක්‍රියාත්මක නොකළ යුතු බව අප උදක්ම කියා සිටිමු. යම් හෙයකින් යථෝක්ත රාජ්‍ය නිලධාරීන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම අනුමත කළහොත් එම නිසා පසුකාලීනව ඇතිවිය හැකි නීතිමය සහ අධිකරණමය ක්‍රියාමාර්ග වලදී වග වීමට ඔවුන්හට සිදුවනු ඇති බවටද මතක් කර සිටිමු.

    වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික දුෂ්කරතාවය තවත් එක් ව්‍යාපාරික අවස්ථාවක් බවට පත් කර ගනිමින්, යුතු නොවන රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක් ඔස්සේ ඩොලර් ට්‍රිලියන ගණනක් වටිනා අප සතු දේශීය සම්පත් කුණු කොල්ලයට විකිණීමට තැත්කිරීම සම්බන්ධයෙන් රටේ පුරවැසියන් වශයෙන් අප හටද වගවීමක් ඇත. එමෙන්ම මෙම තීරණය ක්‍රියාත්මක වන තෙක් මුනිවත රැකි සහ ඒ සඳහා සමූහයක් වශයෙන් අනුමැතිය පල කරන ලද වර්තමාන රජයේ කැබිනට් මණ්ඩලය වෙත අපගේ බලවත් අප්‍රසාදය පල කරමු.

    කිසිදු විනිවිද භාවයක් නොමැති, රටට ඉතාමත් අහිතකර තනිකරම දේශපාලන අතපෙවීම් මත ඉදිරියට යන මෙම මෙගා වොට් 500ක අදානි සුළං විදුලි බල ව්‍යාපෘතිය ඉදිකිරීමට ඉඩ හැරියහොත් එම විදුලිය සඳහා ඩොලර් මඟින් ගෙවීම් කිරීමට සිදුවීම මත රටක් වශයෙන් අප ඉතා දීර්ඝ කාලයක් බංකොලොත් භාවය තුලම සිරවී සිටිනු ඇත. එමෙන්ම මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ දේශීය පුනර්ජනනීය විදුලි බල කර්මාන්තයේ මලගම සනිටුහන් කරනු ඇත.

    අපගේ ආර්ථිකය තවදුරටත් දුර්වල කරන මෙවැනි ආකාරයේ බලශක්ති ව්‍යාපෘති සම්බන්ධයෙන් මුනිවත රැකීම අපගේ ඉදිරි පරම්පරා ගණනාවක ගේ අයිතිවාසිකම් බලෙන් උදුරා ගැනීමකි. එම නිසා සත්‍ය තත්වය ජනතාව වෙත ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ජාල ගත සුළං විදුලි බල සංවිධානය මඟින් මෙම මාධ්‍ය නිවේදනය පල කරමු.

    මෙහිදී මෙම ව්‍යාපෘතිය නිසා රටක් වශයෙන් අප හට අහිමි විදේශ විනිමය සම්බන්ධයෙන් පළමුව විමසා බැලිය යුතු වේ. මෙම අදානි ව්‍යාපෘතිය ඉදිකරහොත් විදුලි ඒකකයක් සඳහා ඩොලර් ශත 7.5ක මුදලක් ගෙවිය යුතු බව අප හට දැන ගැනීමට ලැබී ඇත. ලෝකයේ වෙනත් රටවල් වල ඉදි කර ඇති මීට සමාන ධාරිතාවයෙන් යුතු සුළං විදුලි ව්‍යාපෘති සඳහා ගෙවනු ලබන්නේ ඩොලර් ශත 3 කටත් අඩු මිලකි. එනම්, අදානි ව්‍යාපෘතිය සඳහා මෙම රජය විසින් ලබා දී ඇති මිල සංසන්ධනාත්මකව සැලකීමේදී සියයට සියයකින් වැඩිය. වසර විස්සක විදුලි ජනන කාලයක් සැලකීමේදී මෙම විදුලිය සඳහා ඩොලර් වලින් ගෙවීමට සිදුවීම තුල ශ්‍රී ලංකාවට මේ තුලින් අහිමි වන විදේශ විනිමය ප්‍රමාණය ඩොලර් මිලියන 3,300ක් පමන වේ. ඒ තුල විදුලි බල මණ්ඩලයට සිදු වන පාඩුව ඩොලර මිලියන 2,000ක් පමණ වේ.

    අද වන විට ශ්‍රී ලංකාව මුහුණ පා ඇති ආර්ථිකමය බංකොලොත් භාවයෙන් මුදවාගැනීම සඳහාද අප හට අවශ්‍ය වන්නේ ඩොලර මිලියන 3,000ක පමණ මුදල් ප්‍රමාණයකි. එබැවින් ඒ සා විශාල ධනස්කන්ධයකටත් වඩා වැඩි මුදලක් අප එක් විදුලි ව්‍යාපෘතියක් නිසාම නැතිකරගනීම ආර්ථික ඝාතනයක් නොවන්නේද ?

    පුනර්ජනනීය බලශක්තිය යනු දේශීය බලශක්ති ප්‍රභවයකි. එබැවින් ඒ සඳහා ඩොලර් වලින් මුදල් ගෙවීමද කිසිසේත් අනුමත කල නොහැක. දැනට ලංකාවේ ක්‍රියාත්මක සංයුක්ත ධාරිතාවය මෙගාවොට් 1,250ක් පමණ වන සුළං, සූර්ය, කුඩා ජල විදුලි, යනාදී කිසිදු ප්‍රභවයකට ඩොලර් අනුසාරයෙන් ගෙවීම් කරනු නොලබයි.

    උදාහරණයක් වශයෙන් 2020 වර්ෂයේ මන්නාරම ප්‍රදේශය තුල ක්‍රියාත්මක කිරීම සඳහා ලන්සු කැඳවන ලද මෙගා වොට් 15ක සුළං විදුලි බල ටෙන්ඩරය සඳහා දේශීය සමාගමක් විසින් අඩුම ලන්සුව ඉදිරිපත් කල අතර එය විදුලි ඒකකයක් සඳහා ගෙවිය යුතු වන්නේ රුපියල් 16/- කි. වසර විස්සක් තිස්සේ එම මිලෙහි කිසිදු වැඩිවීමක් නොමැත. එහෙත් අදානි ව්‍යාපෘතිය සඳහා ගෙවීම් කරනු ලබන්නේ ඩොලර අනුසාරයෙනි. ඩොලරය වැඩි වන සෑම විටම එම මිල රුපියල් වලින් ඉහල යනු ඇත. දැනට පවතින ඩොලර් විනිමය අනුපාතය වන රුපියල් 360/- ක මිල අනුව 2022 වර්ෂයේදී අදානි ව්‍යාපෘතියෙන් නිපදවෙන විදුලි ඒකකයක් සඳහා රුපියල් 27/- ගෙවිය යුතුය. යම් හෙයකින් තව අවුරුදු කිහිපයකින් ඩොලරයක් සඳහා රුපියල් 500/-ක් ගෙවීමට සිදුඋවහොත් ගෙවන මිල රුපියල් 37/- දක්වා ඉහල යයි. මෙම ගිවිසුමෙහි පවතින ශ්‍රී ලංකාවට ඉතාමත්ම අවාසිදායක තත්වය එයයි.

    මෙම ව්‍යාපෘතියේ තවත් අඳුරු පැතිකඩක් වන්නේ එය ඉදිකිරීම තුල ශ්‍රී ලාංකික දේශීය පුනර්ජනන ව්‍යවසායකයා හෝ කර්මාන්ත කරුවා හට පැවැත්මක් නොමැතිවීමයි. විශාල බහු ජාතික සමාගමක් විසින් ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම මත අප හට උරුම වූ සම්පතක් එක විට එක වර ඩැහැ ගැනීම තුල ඉදිරියේදී සුළං විදුලි බල කර්මාන්තකරුවන් හට සංවර්ධනය කිරීමට බලශක්ති ප්‍රභවයක් ඉතිරි නොවේ. එබැවින් ඔවුන්ගේ ජීවනෝපාය අහිමි වේ. දේශීය ව්‍යවාසකයන් හට මෙවැනි ආකාරයේ ව්‍යාපෘති ඉදිකිරීම සම්බන්ධයෙන් අත්දැකීම අහිමිවේ . දේශීය ඉංජිනේරුවන් හට මෙම ව්‍යාපෘති සම්බන්ධයෙන් තාක්ෂණික දැනුමක් ලබාගැනීමට තිබු අවකාශද අහිමි වේ.

    පොසිල ඉන්ධන වල මිල ගෝලීය වශයෙන් ඉහල යාම සහ ඒවා මිලදී ගැනීමට ඩොලර් නොමැතිවීම නිසා එහි ප්‍රතිපලයක් ලෙස මිලියන 22ක් වූ ශ්‍රී ලාංකික ජනතාවට ඇති වී ඇති දුක්ඛිත ඉරණම සහ ඒ තුල බිහිවී ඇති දේශපාලන අර්බුධය සම්බන්ධයෙන් අටුවා ටීකා ලිවීමට අප මෙහිදී අදහස් නොකරමු. එහෙත් මෙම මෙගා වොට් 500ක් ධාරිතාවයෙන් යුතුව සංවර්ධනය කිරීමට යත්න දරන අදානි ව්‍යාපෘතිය නිසා සිදු වන්නේ අපගේ බලශක්ති සුරක්ෂිතතාවය තවදුරටත් අහිමි වීමයි. එමෙන්ම ඩොලර් සංචිත තවත් හිඟ වී රට තවදුරටත් බංකොලොත් භාවයේම පැවතීමයි.

    එබැවින් මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයාම වහාම නතර කරන මෙන් අප දේශපාලන අධිකාරියෙන්, විදුලි බල සහ බලශක්ති අමාත්‍යාංශයෙන්, ලංකා විදුලි බල මණ්ඩලයෙන් සහ සුනිත්‍ය බල ශක්ති අධිකාරියෙන් ඉල්ලා සිටිමු. මන්නාරම ප්‍රදේශයේ පවතින අසීමිත සුළං බලයෙන් විදුලිය නිපදවීමටනම් සිදු කල යුත්තේ විනිවිදභාවයකින් යුතු ටෙන්ඩරයක් මාර්ගයෙන් අඩුම ලන්සුව ඉදිරිපත් කරන්නා වෙත ව්‍යාපෘතිය ලබා දීම බවද අවධාරණය කරමු. එවැනි ටෙන්ඩරයක් සඳහා අදානි සමගම ඉදිරිපත්වීම සම්බන්ධයෙන් අපගේ කිසිදු විරුද්ධතාවයක් නොමැත. එමෙන්ම දේශීය ව්‍යවසායකයන් හටද ඉදිරිපත්වීමට අවකාශ සැලසෙන සේ මෙම මෙගා වොට් 500ක ප්‍රමානය මෙගා වොට් 50 හෝ 100කොටස් වශයෙන් ටෙන්ඩර ගත කිරීම වඩාත් සුදුසු බවද සඳහන් කරමු. උක්ත කරුණු සඳහා අනුගත නොවන්නේ නම් මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ගයකට එළැඹීමට අප පසුබට නොවන බවද අවධාරණය කරමු.

    මීට

    ශ්‍රී ලංකාවේ ජාල ගත සුළං විදුලි බල සංවිධානය