මහ බැංකුවට නව නියෝජ්‍ය අධිපතිවරු දෙදෙනෙක්

    December, 18, 2020

    මුදල් මණ්ඩලය විසින් මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය සහිතව සහකාර අධිපතිවරුන් වන ටී. එම්. ජේ. වයි. පී. ප්‍රනාන්දු මහත්මිය සහ එන්. ඩබ්ලිව්. ජී. ආර්. ඩී. නානායක්කාර මහතා 2020 දෙසැම්බර් මස 14 වැනි දින සිට ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති තනතුරට උසස් කරන ලදී.

    ටී. එම්. ජේ. වයි. පී. ප්‍රනාන්දු මහත්මිය

    ටී. එම්. ජේ. වයි. පී. ප්‍රනාන්දු මහත්මිය ශ්‍රී ලංකා මහ බැංකුවේ වසර 30 කට අධික සේවා කාලයක් සම්පූර්ණ කර ඇති අතර බැංකු අධීක්ෂණ හා නියාමන, විදේශ විනිමය කළමනාකරණ සහ ව්‍යවහාර මුදල් කළමනාකරණ යන ක්ෂේත්‍රයන්හි විශේෂ පළපුරුද්දක් දරයි. මෙම කාලය තුළ ප්‍රනාන්දු මහත්මිය බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සහ විනිමය පාලක ලෙස සේවය කළ අතර ජාත්‍යන්තර ප්‍රමිතීන්ට හා මනා පරිචයන්ට අනුකූලව බැංකු සඳහා ශක්තිමත් නියාමන රාමුවක් ක්‍රියාත්මක කිරීම සඳහා නායකත්වය ලබා දීම මගින් මූල්‍ය පද්ධති ස්ථායීතාව පවත්වා ගැනීමට විශාල කාර්යභාරයක් ඉටු කළාය. නියෝජ්‍ය අධිපති ලෙස පත් කිරීමට පෙර ප්‍රනාන්දු මහත්මිය බැංකු අධීක්ෂණ, ව්‍යවහාර මුදල්, විදේශ විනිමය සහ අර්ථ සාධක අරමුදල් යන දෙපාර්තමේන්තු භාර සහකාර අධිපති ලෙස කටයුතු කළා ය.

    ප්‍රනාන්දු මහත්මිය මහ බැංකුවේ මූල්‍ය පද්ධති ස්ථායීතා කමිටුව, අන්තර් නියාමන ආයතන කවුන්සිලය සහ ජාතික ගෙවීම් කවුන්සිලයෙහි නිල බලයෙන් සාමාජිකත්වය දරමින් එම කමිටුවල අරමුණු සහ පරමාර්ථයන් වෙනුවෙන් විශාල දායකත්වයක් සැපයීය. ප්‍රනාන්දු මහත්මිය ණය තොරතුරු කාර්යාංශය, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, සීමාසහිත ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගම, සීමාසහිත ජීකේ හොස්පිට්ල්ස්, සීමාසහිත ජෙට්වින් සිම්පනි යන ආයතනවල අධ්‍යක්ෂවරයෙකු ලෙසත් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ යහපාලන නීති සංග්‍රහය සමාලෝචනය සඳහා පත් කළ කමිටුවේ, නිදහස් වෙළඳ ගිවිසුම් ගනුදෙනු සඳහා ආයෝජනය කිරීම පිළිබඳ උප කමිටුවේ සහ අග්නිදිග ආසියාතික මහ බැංකුවල (SEACEN) පුහුණු කිරීම් පිළිබඳ උපදේශක කමිටුවේ සාමාජිකයෙකු ලෙසත් කටයුතු කර ඇත. තවද ඇය ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ උප සභාපතිනිය ලෙස ද කටයුතු කරන්නීය.

    ප්‍රනාන්දු මහත්මිය කොළඹ විශ්වවිද්‍යාලයෙන් මූල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය ද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් වාණිජවේදී උපාධිය ද ලබා ඇත.

    එන්. ඩබ්ලිව්. ජී. ආර්. ඩී. නානායක්කාර මහතා

    එන්. ඩබ්ලිව්. ජී. ආර්. ඩී. නානායක්කාර මහතා මහ බැංකු සේවයෙහි වසර 27 කට අධික කාලයක් සම්පූර්ණ කර ඇති අතර බැංකු අධීක්ෂණය හා නියාමනය, විදේශ සංචිත කළමනාකරණය සහ ජාත්‍යන්තර මෙහෙයුම්, දේශීය මෙහෙයුම්, සාර්ව විචක්ෂණතා අධීක්ෂණය සහ රාජ්‍ය ණය කළමනාකරණය යන අංශවල විශේෂ පළපුරුද්දක් ඇති නිලධාරියෙකි. නානායක්කාර මහතා නියෝජ්‍ය අධිපති ධුරයට පත්වීමට පෙර මහ බැංකුවේ රාජ්‍ය ණය, ප්‍රදේශීය සංවර්ධන, මූල්‍ය පාරිභෝගික සම්බන්ධතා සහ කාර්ය මණ්ඩල සේවා කළමනාකරණ දෙපාර්තමේන්තු භාර සහකාර අධිපතිවරයා ලෙස කටයුතු කළේ ය.

    නානායක්කාර මහතා ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂිංටන්හි පිහිටි ඇමෙරිකානු විශ්වවිද්‍යාලයෙන් (American University), මූල්‍ය පිළිබඳ විද්‍යාපති උපාධිය ද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ විද්‍යාවේදී උපාධිය ද ලබා ඇත. ඔහු ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ අධි සාමාජිකත්වය සහ ශ්‍රී ලංකාවේ වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ ආශ්‍රිත සාමාජිකත්වය දරන අතර ඇමෙරිකා එක්සත් ජනපදයේ අභ්‍යන්තර විගණකවරුන්ගේ ආයතනයේ සහතිකලත් මූල්‍ය සේවා විගණකවරයෙකු ද වේ.