මහ බැංකුව පොලී අඩු කරයි

    May, 22, 2025

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට තීරණය කර තිබේ.

    ඒ අනුව එක්දින ප්‍රතිපත්ති අනුපාතිකය 7.75%ක් දක්වා පදනම් අංක 25කින් අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (21) පැවති රැස්වීමේ දී තීරණය කර ඇත.

    වත්මන් සහ අපේක්ෂිත දේශීය සහ ගෝලීය සාර්ව ආර්ථික ප්‍රවණතා පිළිබඳව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹි බව ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටී.

    මැදිකාලීනව උද්ධමනය සියයට 5ක මට්ටමේ ඉලක්කය කරා ක්‍රමයෙන් ළඟාවීම සහතික කරමින් ආර්ථිකයට එහි උපරිම ධාරිතා මට්ටමට ළඟා වීමට සහායවීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

    පුරෝකථනය කළ පරිදි අවධමන තත්ත්වය ලිහිල් වීමක් 2025 මාර්තු මාසයේ සිට ආරම්භ විය. නවතම පුරෝකථන අනුව නුදුරු කාලීනව උද්ධමනය පෙර අපේක්ෂා කළ මට්ටමට වඩා මන්දගාමීව ඉහළ යෑමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරයි. ඒ අනුව, 2025 වසරේ තෙවැනි කාර්තුවේ මුල් කාලයේ දී උද්ධමනය ධන අගයකට පත්වී ක්‍රමයෙන් ඉලක්කගත මට්ටමට ළඟාවනු ඇතැයි අපේක්ෂා කෙරේ. මූලික උද්ධමනය ද ඉදිරි මාස කිහිපයේ දී මේ වනවිට පවතින අඩු මට්ටමේ සිට ක්‍රමයෙන් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. උද්ධමන අපේක්ෂා ද උද්ධමන ඉලක්කය සමග අනුකූල වෙමින් පවතී.

    මෑත කාලීන ප්‍රධාන ආර්ථික දර්ශක තුළින් දේශිය ආර්ථික ක්‍රියාකාරකම්වල තිරසාර වර්ධනයක් පිළිබිඹු වේ. කෙසේ වුවද, පසුගිය මුදල් ප්‍රතිපත්ති විවරණයේ සිට මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බලපෑම් කළ හැකි ගෝලීය අවිනිශ්චිතතා ඉහළ ගොස් ඇත.

    මේ අතර, බොහෝ වෙළඳපොළ පොලී අනුපාතික පහළ මට්මක ස්ථායිව පවතී. මෙම ප්‍රතිපත්ති පොලී අනුපාතික ලිහිල් කිරීමත් සමඟ ණය පොලී අනුපාතික තවදුරටත් පහළ යනු ඇතැයි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය අපේක්ෂා කරයි. පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණය ප්‍රසාරණය තවදුරටත් ඉහළ මට්ටමක පවතින අතර මෙම ණය ප්‍රසාරණය තුළින් ආර්ථිකයේ ප්‍රධාන අංශවලට ප්‍රතිලාභ හිමි විය. මෙම මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීම තුළින් තවදුරටත් සහාය ලබමින් ණය ප්‍රසාරණය වසර පුරාම අඛණ්ඩව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    2025 වසරේ මේ දක්වා කාලයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය ශක්තිමත්ව පවතී. වෙළඳ හිඟය පුළුල් වුවද සංචාරක ඉපැයීම් සහ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ මේ සඳහා සහාය විය. ණය සේවාකරණය සහ අනෙකුත් විදේශ විනිමය පිටතට ගලායාම මධ්‍යයේ මහ බැංකුවේ අඛණ්ඩ ශුද්ධ විදේශ විනිමය මිලදී ගැනීම් හේතුවෙන් නිල සංචිත ශක්තිමත්ව පවතී. ගෙවුණු වසර දෙකක කාලයේ දී ශ්‍රි ලංකා රුපියල ප්‍රධාන මුදල් ඒකකවලට සාපේක්ෂව වාර්ෂිකව අතිප්‍රමාණය වීමක් වාර්තා කිරීමෙන් අනතුරුව 2025 වසරේ මේ දක්වා කාලයේ දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලෙහි යම් අවප්‍රමාණය වීමක් වාර්තා වී ඇත.

    ආර්ථිකයට එහි උපරිම ධාරිතා මට්ටමට ළඟාවීම සඳහා සහාය වන අතරම, උද්ධමනය 5%ක ඉලක්කය වටා ස්ථායිව පවත්වා ගැනීම සඳහා දේශීය හා ගෝලීය වශයෙන් ලැබෙන දත්ත සමීපව නිරීක්ෂණ කර සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය කටයුතු කරනු ඇත.

    මීළඟ මුදල් ප්‍රතිපත්ති නිවේදනය 2025 ජූලි 23 වැනි දින නිකුත් කිරීමට නියමිතයි.