මහ බැංකුව මිල දී ගත් ඩොලර් ප්‍රමාණය 2025 මුල් මාස 06 දී බිලියනය පනී

    August, 7, 2025

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2025 වසරේ පළමු භාගය තුළ දී දේශීය විදේශ විනිමය වෙළඳපොළෙන් ඩොලර් බිලියන 1 ක් ඉක්ම වූ මිලදී ගැනීම් සිදු කර ඇති බව නවතම වාර්තාවක් මගින් අනාවරණය වී ඇත.

    ඒ අනුව 2025 වසරේ පළමු භාගය තුළ, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දේශීය විදේශ විනිමය වෙළඳපොළ මිලදී ගැනීම් එ.ජ.ඩොලර් මිලියන 1,077.4ක් සිදු කර ඇති අතර එ.ජ.ඩොලර් මිලියන 63.3ක් වෙළඳපොළට සපයා ඇත.

    ඒ අනුව, මෙම කාලය තුළ වාර්තා වී ඇති ශුද්ධ විදේශ විනිමය මිලදී ගැනීම් වටිනාකම එ.ජ.ඩොලර් මිලියන 1,014.1 ( එ.ජ.ඩොලර් බිලියන 1.01) කි. ඒ හරහා ශ්‍රී ලංකා මහ බැංකුවට සිය දළ නිල විදේශීය සංචිත තත්ත්වය ඉහළ නංවා ගැනීමට හැකි වී ඇත.

    වසරේ පළමු භාගය තුළ, මහ බැංකුව විසින් එ.ජ.ඩොලර් මිලියන 868.0ක නව ගැනුම්-විකුණුම් විදේශ විනිමය හුවමාරු ගිවිසුම්වලට එළැඹිණි.

    එමෙන්ම, බලපත්‍රලාභී වාණිජ බැංකු සමඟ පරිණත වූ එ.ජ.ඩොලර් මිලියන 520.0ක වටිනාකමකින් යුතු ගැනුම්-විකුණුම් විදේශ විනිමය හුවමාරු ගිවිසුම්වලට යළි එළැඹිණි. එම කාල වකවානුව තුළදීම, එ.ජ.ඩොලර් මිලියන 503.5ක ගැනුම්-විකුණුම් විදේශ විනිමය හුවමාරු ගිවිසුම් කල්පිරී අවසන් විය.

    එහි සමස්ත ප්‍රතිඵලයක් ලෙස, 2024 වසර අවසානයේ එ.ජ.ඩොලර් මිලියන 1,318.3ක් වූ කල් නොපිරුණු ගැනුම්-විකුණුම් විදේශ විනිමය හුවමාරු ගිවිසුම් වටිනාකම, 2025 වසරේ පළමු භාගය අවසන් වන විට එ.ජ.ඩොලර් මිලියන 1,682.8ක් දක්වා ඉහළ ගියේය.

    දේශීය විදේශ විනිමය වෙළඳපොළෙහි ද්‍රවශීලතා තත්ත්වයන්ට අනුකූලව, වෙළඳපොළ තත්ත්ව සඳහා බාධාවක් ඇති නොවන පරිදි මෙම මෙහෙයුම් සිදුකරන ලද අතර, මහ බැංකුවේ අපේක්ෂිත විදේශ සංචිත මට්ටම් අත්කර ගැනීමේ අරමුණ සාක්ෂාත් කරගැනීමට හේතු වී ඇත.

    දේශීය විදේශීය වෙළඳපොළ වෙතින් සිදු කරන ලද ශුද්ධ විදේශ විනිමය මිලදී ගැනුම් සහ බලපත්‍රලාභී වාණිජ බැංකු සමඟ ඇතිකරගන්නා ලද ගැනුම් විකුණුම් විදේශ විනිමය හුවමාරු ගිවිසුම්වල නොපියවූ වටිනාකම හේතුවෙන් වසරේ පළමු භාගය අවසානය වනවිට දළ නිල සංචිත ප්‍රමාණය වාර්තා වී ඇත්තේ එ.ජ.ඩොලර් බිලියන 6.1ක් ලෙසයි.