මෙරට තුළ NCS කාඩ්පත් භාවිතා කිරීමේ පහසුකම් ලබාදීමට සෙලාන් බැංකුව LankaClear සමඟ අත්වැල් බැඳගනී

    September, 11, 2019

    සෙලාන් බැංකුව පසුගියදා National Card Scheme (NCS) සේවාවන් සපයන LankaClear සමාගම සමග විශේෂ ගිවිසුමකට අත්සන් තැබීය. එමගින් ගනුදෙනුකරුවන්ට දිවයින පුරා අලෙවිසැල්වලදී LankaPay සහ Japan Credit Bureau (JCB) සන්නාම සහිත කාඞ්පත් මගින් ගෙවීම් සිදුකිරීමේ අවස්ථාව හිමි වේ.

    මෙරට ජනප්‍රියම ස්වර්ණාභරණ සමාගමක් වන ස්වර්ණමහල් ජුවලර්ස්, මෙම ක්‍රමය යටතේ සෙලාන් බැංකුව වෙනුවෙන් ගෙවීම් භාරගන්නා ප්‍රථම සමාගම බවට පත්විය. ඉදිරියේදී ගනුදෙනුකරුවන්ට වැඩි පහසුවක් සැලසීම සඳහා දේශීය බැංකු මගින් නිකුත් කරන ලද, LankaPay සහ Japan Credit Bureau (JCB) සන්නාම දෙකම සඳහන් කාඩ්පත් මගින් මෙන්ම ජාත්‍යන්තර JCB කාඩ්පත් මගින් සිදුකරන ගෙවීම් භාරගැනීමට හැකිවන පරිදි සිය POS සහ mPOS ජාලය පුළුල් කිරීමට සෙලාන් බැංකුව අපේක්ෂා කරයි.

    සුහද හදක් ඇති දේශීය බැංකුව වන සෙලාන් බැංකුව මේ වනවිට නවීනතම තාක්ෂණයන් භාවිතයට ගනිමින්, ගනුදෙනුකරුවන්ට මුදල් භාවිතයෙන් තොරව, සුරක්ෂිත ලෙස ගනුදෙනු කිරීම සඳහා නව ක්‍රමවේද හඳුන්වාදෙමින් සිටී. එහි තවත් පියවරක් වන මෙම සේවාවේදී භාවිතා වන NCS කාඞ්පත්, චිප් එකක් පදනම් කරගත් EMV ක්‍රමවේදයක් මගින් සුරක්ෂිත වන නිසා කාඩ්පත් සම්බන්ධ වංචාවල ගොදුරක් බවට පත්වීමේ ඉඩකඩ ඉතාමත් අවම ය.

    ජපානයෙන් ආරම්භ වූ එකම ජාත්‍යන්තර ගෙවීම් ක්‍රමය වන න්‍ක්‍ඊ මේ වනවිට ලොවපුරා පාරිභෝගිකයන්ට නවතම පහසුකම් හා සේවාවන් සලසමින් ජාත්‍යන්තර මට්ටමින් ව්‍යාප්ත වෙමින් පවතී. එමෙන්ම එය ලෝක මට්ටමින් ඒකාබද්ධව සේවා සැලසීමේ සහ සුරක්ෂිත ලෙස ගෙවීම් භාරගැනීමේ අවස්ථාවන් සලසා දෙන EMVCoහි සාමාජිකත්වය ලබා ඇති ජාත්‍යන්තර කාඞ්පත් සේවාවන් හයෙන් එකක්ද වේ. දැනට රටවල් 24 කට අධික සංඛ්‍යාවක ක්‍රියාත්මක වන එම සේවාව සමග සම්බන්ධ වී ඇති පාරිභෝගිකයන් ගණන මිලියන 130 ඉක්මවයි. මෙම නව හවුල්කාරීත්වය මගින් JCB කාඩ්පත් හිමියන්ට සෙලාන් බැංකුවේ POS සහ mPOS සේවා සහිත අලෙවිසැල් වලදී රු. 15,000/- ක් දක්වා ගෙවීම් ඉතාමත් පහසුවෙන් සිදුකිරීමට අවස්ථාව හිමිවනු ඇත.

    මේ වනවිට සෙලාන් බැංකුව ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් වර්ග රැසක් හඳුන්වා දී ඇති අතර ඒවා මගින් කාඩ්පත් හිමියන්ට සංචාරක සේවා, ආහාරපාන, ආභරණ, සෞඛ්‍ය සේවා, ගෘහෝපකරණ සහ තවත් බොහෝ දෑ සඳහා සුවිශේෂී ඉතුරුම් හිමි වේ.


    (වමේ සිට) සෙලාන් බැංකුවේ කාඩ්පත් ප්‍රධානී ජයනාත් ඩයස් මහතා, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධ්‍යක්ෂ (ගෙවීම් සහ පියවීම් අංශය) ඩී. කුමාරතුංග මහතා, ස්වර්ණමහල් ජුවලර්ස් හි ප්‍රධාන විධායක නිලධාරී දිනේෂ් ප්‍රනාන්දු මහතා, LankaClear (පුද්.) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී චන්න ද සිල්වා මහතා, ස්වර්ණමහල් සමූහයේ සභාපති ඇලෙක්ස් ලොවෙල් මහතා, සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පාරිභෝගික බැංකුකරණ) ටිලාන් විජයසේකර මහතා සහ MCB තොරතුරු තාක්ෂණ ප්‍රධානී තාහා තවුෆීක් මහතා