යුරෝපීය ආයෝජන බැංකුව හරිත බැඳුම්කර ආයෝජන ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාවට තාක්ෂණික විශේෂඥ දැනුම හා අවශ්‍ය සහයන් ලබා දිමට එකඟ වෙයි

    July, 13, 2021

    හරිත බැඳුම්කර  ආයෝජන ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාවට තාක්ෂණික විශේෂඥ දැනුම හා අවශ්‍ය වෙනත්  සහාය ලබා දීම සඳහා ද යුරෝපීය ආයෝජන බැංකුව ඉදිරිපත් වි සිටින බව එම බැංකුව සමග පැවැති සාකච්ඡාවකදී අනාවරණය කර ඇත. බ්‍රසල්ස්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, යුරෝපීය ආයෝජන බැංකුවේ (EIB) නිලධාරීන් සහ ශ්‍රී ලාංකික නිලධාරීන් අතර ඉකුත් 07 වැනි දින  පැවැති අතත්‍ය සාකච්ඡාවකදී මේ බව අනාවරණය කර තිබේ. බෙල්ජියම, ලක්සම්බර්ග් සහ යුරෝපා සංගමය සඳහා ශ්‍රී ලංකා තානාපති ග්‍රේස් ආසිර්වාදම් මැතිණිය  සහ යුරෝපීය ආයෝජන බැංකුවේ නිලධාරීන්, එනම්, ආසියා සහ පැසිෆික් කලාපයේ රාජ්‍ය ණය මෙහෙයුම් අංශයේ අංශ  ප්‍රධානී එඩ්වාඩස් බම්ස්ටේනස් මහතා, දකුණු ආසියාව සඳහා යුරෝපීය ආයෝජන බැංකුවේ කලාපීය නියෝජන ප්‍රධානී ඩොනල් කැනන් මහතා, දකුණු ආසියාවේ රාජ්‍ය ණය මෙහෙයුම් පිළිබඳ ණය නිලධාරී කැට්රින් බොක් මහත්මිය සහ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ (ERD) අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (වැඩ බලන) විශාකා අමරසේකර මහත්මිය, ශ්‍රී ලංකා මහ බැංකුවේ ආචාර්ය එම්.ඉසෙඩ්.එම්. ආසිම් මහතා, ආයෝජන මණ්ඩලයේ (BOI) සභාපති සංජය මොහොට්ටාල මහතා සහ විදේශ අමාත්‍යාංශයේ නිලධාරීන් මෙම රැස්වීමට සහභාගී වූහ.

    යුරෝපීය ආයෝජන බැංකුවේ අරමුදල් ලබාගැනීම සඳහා ඉදිරිපත් කොට ඇති ව්‍යාපෘති යෝජනා සහ වඩාත් වැදගත් ලෙස, හරිත හා තිරසාර සංවර්ධනය, පිරිසිදු හා තිරසාර සාගර මූලාරම්භයන්, හරිත බැඳුම්කර සඳහා ආයෝජන, කුඩා හා මධ්‍ය පරිමාණ සංවර්ධන කටයුතු යනාදී ක්ෂේත්‍රවල ණය ලබා දීමේ හැකියාව පිළිබඳව මෙම අතථ්‍ය රැස්වීමේ දී අවධානය යොමු විය. බැංකුවේ හරිත සංකල්ප වැඩසටහන යටතේ අරමුදල් සම්පාදන ක්‍රම පිළිබඳව පැහැදිලි කරමින්, යුරෝපීය ආයෝජන බැංකුවේ ආයෝජන ණය මගින් ලබා ගත හැකි අරමුදල් සඳහා ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති යෝජනා සලකා බැලීම සඳහා පවතින සූදානම පිළිබඳව යුරෝපීය ආයෝජන බැංකුවේ නිලධාරීන් පෙන්වා දුන්නේය.