රුපියල මත පීඩනය තවදුරටත්. ඩොලරයේ විකුණුම් මිල රු. 194 පසුකරයි

    December, 24, 2020

    විදේශ විනිමය වෙළෙඳපොළේ ශ්‍රී ලංකා රුපියල මත යළිත් වරක් යම් ආකාරයක පීඩනයක් එල්ල වී ඇති බව දෛනික විනිමය අනුපාතික පිරික්සීමේ දී පෙනී යයි.

    මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව, අද (24) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 189.08 ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල දැක්වුණේ රු. 194.66 ක් ලෙසිනි.

    මෙය 2020 අප්‍රේල් 30 වෙනි දිනෙන් පසු එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ වැඩිම ගැණුම් හා විකුණුම් මිල ගණන් වේ.

    මේ අතර අද දින එක්සත් ජනපද ඩොලරයේ අනුරූපිත එතැන් අනුපාතිකය (SPOT Exchange Rate) 2020 මැයි 05 දිනෙන් පසු මුල් වරට රු. 190 සීමාව ඉක්මවා යන ලදී. එය දැක්වුණේ රු. 190.21 වශයෙනි.

    අනුරූපිත එතැන් එ. ජ. ඩොලරයේ විනිමය අනුපාතිකය යනු පෙර දිනයේ දී දේශීය අන්තර්-බැංකු එතැන් විදේශ විනිමය වෙළෙඳපොළෙහි සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එතැන් ගනුදෙනු (මිල ගණන් කැඳවීමේ ඉල්ලීම් තුළින් / RFQ) හරහා සිදු කරන ලද වෙළෙඳපොළ මැදිහත්වීම්වල එ. ජ. ඩොලරයට එරෙහි ව ශ්‍රී ලංකා රුපියලෙහි සිදු වූ සමස්ත එතැන් ගනුදෙනුවල බර තැබූ සාමාන්‍ය අගය වේ.