රු. බිලියන 115ක භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් අනිද්දා

    April, 21, 2025

    2025 අප්‍රේල් 23 දින රු. මිලියන 115,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් කැඳවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව දැනුම් දී සිටී.

    එහිදී දින 91, දින 182 හා දින 364 යන පරිණත කාල තුන යටතේ පිළිවෙලින් රු. මිලියන 30,000ක්. රු. මිලියන 60,000ක් හා රු. මිලියන 25,000ක් බැගින් වන පරිදි භාණ්ඩාගාර බිල්පත්, වෙන්දේසිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.

    මේ අතර මීට පෙර අවසන් වරට පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි දෙකේ දී පොලී අනුපාතිකවලට යම් පීඩනයක් එල්ලවන ආකාරයක් දක්නට ලැබුණි. අප්‍රේල් 09 දින පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී මේ බව මනාව දක්නට ලැබුණු අතර එහිදී වෙන්දේසිය සඳහා රු. මිලියන 80,000ක බිල්පත් ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණ ද ලැබුණු ලංසුවලින් පිළිගෙන තිබුණේ රු. මිලියන 3,751 ක වටිනාකමකින් යුතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයකට පමණි. එම නිකුතුවේ දෙවන අදියරේ දී තවත් රු. මිලියන 23,006 ක බිල්පත් ප්‍රමාණයක් නිකුත් කර තිබුණි. පොලී අනුපාතිකවල වෙනසක් මෙහිදී සිදුනොවුණි.

    මේ අතර පසුගිය අප්‍රේල් 16 දින අවසන් වරට පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොලී අනුපාතික මත පීඩනය තවදුරටත් දක්නට ලැබුණු අතර එහිදී දින 182 බිල්පත් පොලී අනුපාතියේ 7.91% සිට 7.96% ක් දක්වා පදනම් අංක 5ක ඉහළ යාමක් වාර්තා වුණි. එම වෙන්දේසිය සඳහා රු. මිලියන 87,500 ක බිල්පත් ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණු අතර ලංසු පිළිගෙන තිබුණේ රු. මිලියන 62,403 කට අදාළ බිල්පත් ප්‍රමාණයකට පමණි.

    මෙම වාතාවරණය තුළ වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ බිල්පත් පොලී අනුපාතිකයන් හි ඉහළ යාමක් මෙවර වෙන්දේසියේ දී බලාපොරොත්තු විය හැකි බවයි.