වසංගත සමයේ මහ බැංකු මෙහෙවර සහ එමගින් මහජනතාවට ලැබුණු සහන හා ප්‍රතිලාභ

    June, 25, 2020

    කොවිඩ් -19 අභියෝගය හමුවේ ශ්‍රී ලංකා මහ බැංකුව සිදු කළේ මොනවා ද?

    කොවිඩ්-19 ගෝලීය වසංගතයේ අභියෝගය සාර්ථකව මැඩ පැවැත්වීම සඳහා වූ  රජයේ පැහැදිලි හා කඩිනම් වැඩපිළිවෙල සමග එක් වූ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එම ගෝලීය වසංගතයෙන් ආර්ථිකයට එල්ල වන දැඩි බලපෑම අවම කිරීම සඳහා කඩිනම් වූත්, තිරසාර වූත් පිළියම් සහ පියවර රැසක් හඳුන්වා දෙන ලදි. ශ්‍රී ලංකා මහ බැංකුවේ එම ක්ෂණික ධනාත්මක ප්‍රතිචාරය, ලොව පුරා මහ බැංකුවල ක්‍රියාකාරකම් පිළිබඳව නිරන්තර විමසුමෙ‍න් සිටින ජාත්‍යන්තර මාධ්‍ය මගින් පවා පැසසුමට ලක් කරනු ලැබිණි. උදාහරණ වශයෙන් “කොරෝනා වයිරසයෙන් මූල්‍ය වෙළඳපොළට සිදු වන බලපෑම් හඳුනාගෙන ජනතාවට සහන සැලසීම සඳහා මුලින් ම ප්‍රතිපත්තිමය පොලී අනුපාතික අඩු කළ මහ බැංකුව” ලෙස “www.centralbanknews.info” වැනි මාධ්‍ය විසින් ශ්‍රී ලංකා මහ බැංකුව නම් කර තිබීම දැක්විය හැකි ය.

    කොරෝනා වයිරසයේ අභියෝගය හමුවේ සහ ඇඳිරි නීතිය ඇතුළු සමාජ සීමාවන් යටතේ ආර්ථිකය කඩා නොවැටී පවත්වා ගැනීම සඳහාත්, ආර්ථිකය දැඩි පීඩනයකට ලක් වීම නිසා ඇති විය හැකි අහිතකර බලපෑම්වලින් සමස්ත මහජනතාව ආරක්ෂා කිරීම සඳහාත් ශ්‍රී ලංකා මහ බැංකුව පුළුල් කාර්යභාරයක් ඉටු කළේ ය. එහිදී සමස්ත ආර්ථිකයට සම්බන්ධ විවිධ අංශ කරා විහිදී යන ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග ක්‍රමානුකුලව සහ උපක්‍රමශීලීව දියත් කිරීමට මහ බැංකුව විසින් කටයුතු කරන ලදි.

    ශ්‍රී ලංකා මහ බැංකුව යනු මුදල් හා මුල්‍ය පද්ධතියෙහි මහ ගෙදරයි

    මහජනතාවගේ සුබසිද්ධිය උදෙසා රටේ ආර්ථිකය ස්ථාවරව පැවතීම අත්‍යවශ්‍ය වේ. මුදලේ අගය සහ භාණ්ඩ හා සේවාවල මිල මට්ටම් නිරන්තර වෙනස්කම්වලට ලක් නොවීමත්, රටේ මූල්‍ය, බැංකු සහ ගෙවීම් පද්ධති සුරක්ෂිතව සහ ස්ථාවරව තිබීමත්, ආර්ථිකයේ සුමට ක්‍රියාකාරීත්වයට සහ ජනතා සුබසිද්ධියට අත්‍යවශ්‍ය ම සාධක වේ. රැකි රක්ෂාවන්, ඉපයීම් සහ වියදම් ඇතුළු ආර්ථික ක්‍රියාකාරකම් මෙන් ම පරිභෝජන අවශ්‍යතා ද සපුරා ගනිමින් ජන ජීවිතය සුමට ලෙස ගලා යන්නේ එවිට ය. මේ සාධක ඇතුළත් ආර්ථික පසුබිම සාමාන්‍ය ජනතාවගේ ජීවිතය පහසු කරන ප්‍රධාන සහ අත්‍යවශ්‍ය යටිතල පහසුකමක් වැනි ය.

    රටක ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය කරමින් ජනතාවට සෙත සැලසීම සඳහා මුදල් හා මුල්‍ය  පද්ධතිය රැක ගැනීමට කටයුතු කරන ප්‍රධාන ආයතනය වනුයේ එරට මහ බැංකුවයි. ඒ අනුව, ශ්‍රී ලංකාව තුළ ද විවිධ අංශ ගණනාවක් ආවරණය කරමින් මෙම ආර්ථික පදනම ශක්තිමත්ව සහ සජීවීව පවත්වා ගනු ලබනුයේ මෙරට ප්‍රධානතම මුල්‍ය ආයතනය වන ශ්‍රී ලංකා මහ බැංකුව විසිනි. රටේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම හෙවත් අවශ්‍ය පරිදි පොලී අනුපාතික, මුදල් හා ණය මට්ටම් පවත්වා ගැනීම, මූල්‍ය වෙළඳපොළට අවශ්‍ය අරමුදල් නිසි පරිදි පවත්වා ගෙන යාම, මුල්‍ය පද්ධතිය ස්ථාවරව පවත්වා ගැනීම සහ නියාමනය කිරීම, දේශීය මුදල් වෙළඳපොළ කළමනාකරණය කිරීම, විදේශ මුදල්වලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය ස්ථාවර මට්ටමක පවත්වා ගැනීම, රටේ විදේශ විනිමය සංචිත කළමනාකරණය, ව්‍යවහාර මුදල් නිකුත් කිරීම, රාජ්‍ය ණය කළමනාකරණය, ජාතික ගෙවීම් සහ පියවීම් පද්ධතිය පවත්වා ගැනීම, සේවක අර්ථ සාධක අරමුදල මෙන් ම තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා අරමුදල ද කළමනාකරණය කිරීම යනාදි කාර්යයන් රැසකින් මහ බැංකුවේ සමස්ත කාර්යභාරය සමන්විත වේ.

    මේ කාර්යභාරය මාසයකට වරක් හෝ දිනකට පැය කිහිපයක් වශයෙන් විවේක සුව විඳිමින් සිදු කළ හැක්කක් හෝ අතිශය සරල කටයුත්තක් හෝ නොවේ. එය නිරීක්ෂණ සහ අධීක්ෂණ සහිතව ප්‍රතිපත්තිමය තීරණ ගනිමින් සහ අවදානම් කළමනාකරණය කරමින් නිතිපතා නිරන්තරයෙන් නිරත විය යුතු ක්‍රියාදාමයකි. රජයට සහ මහජනතාවට බාධාවකින් තොරව කාර්යක්ෂම අයුරින් එදිනෙදා කටයුතු සිදු කර ගැනීමේ අවස්ථාව උදා කර දෙනුයේ මහ බැංකුව විසින් සිදු කෙරෙන මෙම වැදගත් වූත්, තීරණාත්මක වූත් ක්‍රියාදාමය මගිනි.  මහ බැංකුව විසින් එය සිදු කළ යුතු වන්නේ මහජනතාව විසින් ම දුන් වරමක් වන ‘මුදල් නීති පනත’ නම් නීතිමය රාමුව මත කටයුතු කරමින් වීම ද සැලකිය යුතු කරුණකි.

    මහ බැංකුව ඉටු කරන ජාතික වගකීම

    පසුගිය දශක හත පුරා ම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉටු කරමින් සිටිනුයේ ජාතික වගකීමකි. ඉතිහාසය පුරා ශ්‍රී ලංකා මහ බැංකුව ශ්‍රී ලංකාවේ ආර්ථික සහ මිල ස්ථායීතාවත්, මුල්‍ය පද්ධති ස්ථායීතාවත් ආරක්ෂා කර ගනිමින් ද, රජය වෙනුවෙන් විදේශ විනිමය කටයුතු, රාජ්‍ය ණය සහ විදේශ සංචිත කළමනාකරණය කිරීමේ නියෝජිත කාර්යයන් ඉටු කරමින් ද ආර්ථිකයේ සමබරතාව සහ ස්ථාවරත්වය තහවුරු කිරීමට අනවරත හා දුෂ්කර අරගලයක යෙදී ඇත. මහ බැංකුව සැම විට ම කැප වී ක්‍රියා කළේ ආර්ථිකය යහපත් කිරීම ඔස්සේ මහජනතාවට සහන සැලසීමත්, අන්තර් ජාතික වශයෙන් දේශීය ආර්ථිකයට ඇති පිළිගැනීම සාක්ෂාත් කිරීමත් අරමුණු කර ගත් සිය නිහඬ ජාතික මෙහෙවර සාර්ථකව ඉටු කිරීම සඳහා ය. මහ බැංකුවේ කර්යභාරය බැලූ බැල්මට නොපෙනෙන, මහජනතාවගේ සුබසෙත සැලසීම සඳහා වූ දිගු කාලීන ක්‍රියාවලියකි.

    ඒ ආකාරයෙන් ම, මේ සියවසේ දුෂ්කර අභියෝගයක් වන මෙම කොවිඩ් වයිරසයේ අවදානම හමුවේ ද ශ්‍රී ලංකා මහ බැංකුව නොපැකිළව, කාර්යක්ෂමව සහ අකම්පිතව එම වගකීම ඉටු කළ බව සහ ඉටු කරමින් සිටින බව මහජනතාව වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ. විශේෂයෙන් අර්බුද කාලයන්හි දී සහ විවිධ සමාජ අභියෝග පවත්නා සමයන්හි දී පවා ශ්‍රී ලංකා මහ බැංකුව සිය වගකීම නිසි ලෙස ඉටු කර ඇති බවට ඉතිහාසය සාක්ෂි දරයි.

    එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් 1996 වසරේදී මහ බැංකු ගොඩනැගිල්ල දෙදරවන්නට උත්සාහ කරන ලද්දේ රටේ ආර්ථිකයේ කොඳු නාරටිය බිඳ දැමීමේ අරමුණෙනි. එහෙත් එම අභියෝගයට මුහුණ දෙමින් වහා ක්‍රියාත්මක වූ මහ බැංකුව ඒ සැලසුම් ව්‍යර්ථ කොට රටේ ආර්ථිකය නිසි පරිදි පවත්වා ගෙන යාමට කටයුතු කළේ ය. ආර්ථික යුද්ධය ජය ගැනීමේ නිහඬ මෙහෙවර එසේ මහ බැංකුව විසින් දිගින් දිගට ම ඉටු කරනු ලැබ ඇත. එලෙස ම පසුගිය කාලයේ කොවිඩ්-19 වයිරසයේ තර්ජනයෙන් අඩපණව ගිය සමාජ ආර්ථික ව්‍යුහය යළි පණ ගැන්වීම උදෙසා ද කලින් ම ක්‍රියාත්මක වූ මහ බැංකුව, ඒ සඳහා සැලසුම් සකස් කරමින් සහ අවශ්‍ය නිසි ක්‍රියාමාර්ග ගනිමින් සක්‍රීයව කටයුතු කළේ අවශ්‍ය සියලු ම ප්‍රතිපත්ති සහ සැලසුම් නොපමාව දියත් කරමිනි. කොවිඩ් සමාජ තහංචි සමයේ පැවැති ඇඳිරි නීතිය මධ්‍යයේ පවා ශ්‍රී ලංකා මහ බැංකුව නිතිපතා අවදියෙන් සිටිමින් සිය ජාතික වගකීම් උපරිම වශයෙන් ඉටු කරන ලදි.

    මේ ආකාරයෙන් කොවිඩ්-19 වසංගත සමයේ දී මෙරට මුදල් හා මුල්‍ය ප්‍රතිපත්තිය, මෙහෙයුම් ක්‍රියාමාර්ග යනාදිය නිසි පරිදි පවත්වා ගනිමින්, මූල්‍ය ආයතන පද්ධතිය සහ ජාතික ගෙවීම් පියවීම් පද්ධතිය ඇතුළුව පොදුවේ ශ්‍රී ලංකා ආර්ථිකය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරන ලද ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග පිළිබඳව සැකෙවින් හෝ මහජනතාව දැනුම්වත් කිරීම මෙම නිවේදනයේ අරමුණයි.

    වසංගත සමයේ මහ බැංකුව ගත් පියවර මගින් ආර්ථිකයට සහ මහජනතාවට හිමි වූ ප්‍රතිලාභ

    මහ බැංකුව සඳහා ම පවරන ලද වගකීම් නිසි ලෙස ඉටු කරන අතර ම, වසංගත අභියෝගය ජය ගැනීමේ රජයේ ක්‍රියා මාර්ගයන්ට අවශ්‍ය වූ මුදල් සම්පාදනය කිරීම ද ප්‍රමුඛ ම කටයුත්තක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නොකඩවා ම සිදු කරන ලදි. එමගින් අත්‍යවශ්‍ය වූ සෞඛ්‍ය මෙහෙයුම්  ක්‍රියාත්මක කිරීමටත්, ජනතාවට විවිධ ආර්ථික සහන සැලසීමටත් රජයට හැකියාව ලැබිණි. මහ බැංකුවේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් පසුගිය දස වසරක කාලය තුළ පවත්වා ගනු ලැබූ ආකාරයෙන් ම රටේ භාණ්ඩ හා සේවාවල මිල මට්ටම දැඩි උච්චාවචනයන්ගෙන් තොරව පවත්වා ගැනීමට හැකි වූ අතර වසංගත සමයේ දී ජනතාවගේ මූලික ජීවන අවශ්‍යතා ඉටු කර ගැනීමට හැකියාව ලැබුණේ ඒ ඔස්සේ දීර්ඝ කාලීනව ආරක්ෂා වූ මිල ස්ථාවරත්වය නිසා ය. රටේ බැංකු හා මුල්‍ය පද්ධතියේ මුදල් තැන්පත් කිරීම සහ සේවා ලබා ගැනීම පිළිබඳ මහජන විශ්වාසය එලෙස ම පවත්වා ගැනීමට මහ බැංකුව විසින් පියවර ගන්නා ලද අතර ඇඳිරි නීතිය සහ සමාජ සීමාවන් පැනවූ අවස්ථාවල දී පවා රටේ බැංකු සහ මුල්‍ය සේවා මහජනතාව වෙත සපයනු ලැබිණි. රටේ විදේශ සම්පත් සහ රාජ්‍ය ණය නිසි ලෙස කළමනාකරණය කිරීම සම්බන්ධ වගකීම් ද මහ බැංකුව විසින් අඛණ්ඩ ව ඉටු කරනු ලැබූයේ රටක් වශයෙන් ශ්‍රී ලංකාවට හිමි ජාත්‍යන්තර පිළිගැනීම ආරක්ෂා කර ගනිමිනි.

    මහ බැංකුව විසින් ආර්ථිකයේ පොලී අනුපාතික කල් තියා අඩු කිරීමට ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් ආර්ථිකයට ණය ලබා දීමේ හැකියාව වැඩි වී, ඒ තුළින් ආර්ථික කටයුතු ඉහළ නැංවීමට අවශ්‍ය සවිබලය උත්පාදනය විය. වෙළෙඳපොළ පොලී අනුපාතික සැලකිය යුතු ලෙස අඩු කිරීමට මෙමගින් හැකි වූ අතර දැනට ගෙන ඇති ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් ලෙස එම පොලී අනුපාතික ඉදිරියේ දී තවදුරටත් අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එහි වාසිය ද ගලා යනු ඇත්තේ සාමාන්‍ය ජනතාව සහ රජය වෙත ය. වාණිජ බැංකු විසින් මහ බැංකුවේ තැන්පතු ලෙස අනිවාර්යයෙන් ම පවත්වා ගෙන යා යුතු මුදල් ප්‍රමාණය (ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය) අඩු කිරීම ද ඒ සමග ම සිදු කරන ලදි. ඒ අනුව, මහජනතාවගේ සෑම රුපියල් තැන්පතුවකින් ම 5%ක් ලෙස තබා ගත යුතුව පැවති තැන්පතු අවශ්‍යතාව වරින් වර පහත හෙළන ලද අතර මේ වන විට එය 2% දක්වා ම අඩු කර ඇත. මෙම ක්‍රියාමාර්ගය හරහා මහ බැංකුවේ රඳවා ගෙන පැවති වාණිජ බැංකුවල තැන්පතුවලින් රුපියල් කෝටි 18,000කට ආසන්න මුදලක් ආපසු වාණිජ බැංකු වෙත නිදහස් කිරීම සිදු විය. මේ පියවර ඔස්සේ අමතර අවදානමකින් තොරව වැඩි ණය ප්‍රමාණයක් නිකුත් කිරීමේ හැකියාව බැංකුවලට ලබා දෙන ලද අතර මහජනතාවගේ මුදල් අවශ්‍යතා සපුරාලීමට එය නිසැකව ම උපකාරී වේ.

    වසංගත සමයේ රජයේ වියදම් සඳහා මුදල් සැපයීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නොපිරිහෙළා ඉටු කළ සුවිශේෂ කාර්යයකි. අලුතින් මුදල් අච්චු ගසමින් රජයේ ණය උපකරණ නිතිපතා මිල දී ගත් මහ බැංකුව එමගින් 2020 මාර්තු 11 සිට ජූනි 22 අතර කාලයේ දී පමණක් රුපියල් කෝටි 23,200ක පමණ මුදලක් රජය වෙත ලබා දී ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව 2019 වසරේ වාර්තා කළ ශුද්ධ ලාභයෙන් රුපියල් කෝටි 2,400ක මුදලක් ද 2020 වසරේ දී රජය වෙත මුදා හරිනු ලැබිණි. මෙම වසංගත තත්ත්වය පෙර නොවූ විරූ කම්පනයක් ආර්ථිකයට එල්ල කොට ඇති බැවින් මූල්‍ය ආයතනවලට පැන නැගිය හැකි හදිසි මුදල් අවශ්‍යතා වෙනුවෙන් අවශ්‍ය අරමුදල් දේශීය මූල්‍ය වෙළඳපොළට සැපයීමට සුදානම් බව ආරම්භයේ සිට ම ශ්‍රී ලංකා මහ බැංකුව වෙළඳපොළ වෙත දැන්වී ය. ඒ අනුව වසංගත සමයේ ඉහළ ගිය මහජනතාවගේ මුදල් ඉල්ලුම සපුරාලමින් සහ උද්ධමනය වළකාලමින් ආර්ථිකයට මුදල් නිකුත් කිරීම ද දිගින් දිගට ම සිදු කරනු ලැබිණි. මාර්තු මස මුල සිට අප්‍රේල් මස මැද දක්වා පමණක් නිකුත් කරන ලද ව්‍යවහාර මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 16,700 ඉක්මවයි.

    මේ ආකාරයෙන් රජයේ සහ ආර්ථිකයේ මුදල් අවශ්‍යතා සපුරන අතර රාජ්‍ය ණය කළමනාකරණය කිරීම ද, රජයේ විදේශ වත්කම් සුරක්ෂිත කිරීම ද මහ බැංකුව විසින් සිදු කරන ලදි. විශේෂයෙන් ම රජයේ විදේශ ණය ගෙවීම කිසිසේත් ම අතපසු නොවන ආකාරයෙන් මහ බැංකුව කටයුතු කර ඇති අතර 2020 අප්‍රේල් - ජූනි අතර කාලයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 1,007 ක රාජ්‍ය ණය ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ වත්කම් සංචිත යොදා ගනිමින් ගෙවා දමනු ලැබිණි. වසංගත කාලය තුළ රුපියල බාල්දු නොවී ස්ථාවරව පවත්වා ගනු ලැබූයේ රටට ප්‍රමාණවත් තරම් විදේශ විනිමය නොලැබෙන අති දුෂ්කර තත්ත්වයක් යටතේ වීම විශේෂත්වයකි. මේ ආකාරයට වසංගත තත්ත්වයට රටක් ලෙස මුහුණ දීමේ අභියෝගය ජය ගැනීම සඳහා මහ බැංකුව විසින් රජයට තම උපරිම සහයෝගය ලබා දී තිබෙන්නේ මහ බැංකු ප්‍රතිපත්තිමය උපාංග ඔස්සේ මහජනතාව වෙත අහිතකර ආර්ථික පීඩනයක් එල්ල වීම ද උපරිම වශයෙන් වළක්වාලමින් වීම තවත් සුවිශේෂ කරුණකි.

    එසේ ම, මුල්‍ය පද්ධතියේ සුරක්ෂිතතාව පවත්වා ගැනීම සඳහා බැංකු පද්ධතියේ පවතින සමස්ත අරමුදල් ප්‍රමාණය (ද්‍රවශීලතාව) අතිරික්ත මට්ටමක පැවතිය දී පවා, මූල්‍ය ආයතනයකට ඕනෑම හදිසි අවස්ථාවක දී මුදල් ලබාදීම සඳහා මහ බැංකුව අදාළ නෛතික රාමුව තුළ ක්‍රියා කර ඇති අතර, සෑම බැංකුවක ම ප්‍රමාණවත් අතිරික්ත අරමුදල් ප්‍රමාණයක් පැවතීම ද සහතික කර ඇත. ඒ තත්ත්වය ඇති කිරීම උදෙසා, දිගු කාලීන පදනම මත මහ බැංකුවෙන් වාණිජ බැංකුවලට අරමුදල් ලබා දීම තවදුරටත් වැඩි කරන ලදි.  තවද, රජයේ ණය ගැනීමේ වැඩපිළිවෙළට සහායක් ලෙස බැංකු නොවන ප්‍රාථමික වෙළෙඳුන් හට ඔවුන්ගේ හදිසි අරමුදල් අවශ්‍යතා වෙනුවෙන් 2019 සැප්තැම්බර් මාසයේ දී හඳුන්වා දුන් ද්‍රවශීලතා ආධාරක පහසුකම අඛණ්ඩව පවත්වාගෙන ගිය අතර, ඒ අනුව, 2020 මාර්තු සිට මේ දක්වා කාලය තුළ මහ බැංකුව විසින් කෙටි කාලීන හා දිගු කාලීන වශයෙන් රුපියල් කෝටි 13,000කට ආසන්න මුදලක් එම මූල්‍ය ආයතන වෙත මුදා හැර ඇත.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රාජ්‍ය මූල්‍ය කළමනාකරණ සහ ණය සේවාකරණ ගෙවීම් සිදු කිරීම ද කොවිඩ්-19 වසංගතය හමුවේ සිදු වූ  විවිධ බාධක මැද අඛණ්ඩව ඉදිරියට ගෙන යන ලදි.  ඒ අනුව, භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම්කර සහ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත් කිරීම අඛණ්ඩවම සිදු කළ අතර, එමගින් 2020 වසරේ මේ දක්වා රුපියල් කෝටි 100,000ක් ඉක්ම වූ අරමුදල් රැස්කර රජයට ලබා දීමට ශ්‍රී ලංකා මහ බැංකුවට හැකියාව ලැබුණි. 2020 වසරේ ජූනි මාසයේ මැද වන තෙක් වූ මාස 3ක කාල සීමාව තුළ දී රාජ්‍ය සුරැකුම්පත් වෙන්දේසි මගින් රජය වෙත රැස් කර දුන් මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 60,000ක් විය. තව ද, රජයේ අරමුදල් අවශ්‍යතාවය නිසි ලෙස සපුරාලීම සඳහා පැවති ක්‍රමවේදය වූ එක් මාසයක් තුළ භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි එකක් පැවැත්වීම තව දුරටත් පුළුල් කරමින් මැයි සහ ජූනි මාස තුළ දී භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි දෙක බැගින් පැවැත්වීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පියවර ගන්නා ලදි.

    ආර්ථික වශයෙන් පසුබෑමට ලක් වූ ව්‍යාපාරවලට සහ සාමාන්‍ය ජනතාවට ඉතා අඩු පොලී අනුපාතික යටතේ ණය ලබා දීමේ වැඩසටහන් කිහිපයක් ම මහ බැංකුව විසින් ආරම්භ කෙරිණි. එමගින් ව්‍යාපාර කටයුතු යථා තත්ත්වයට පත් කර ගැනීමටත්, හදිසි මුදල් අවශ්‍යතා පියවා ගැනීමටත් මහජනතාවට හැකියාව ලැබිණි. චෙක්පත්වලින් කරන ගෙවීම් ඇතුළු මුදල් ගනුදෙනු කාර්යක්ෂමව සිදු කිරීම සඳහා රටේ ගෙවීම් හා පියවීම් පද්ධතිය බාධාවකින් තොරව ක්‍රියාත්මක වූ බව ද නොරහසකි.

    කොවිඩ්-19 වසංගතයෙන් පීඩාවට පත්වූවන් සඳහා ණය වාරික අය නොකර සිටීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට රුපියල් කෝටි 5,000ක ණය ප්‍රතිමුල්‍යකරණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දෙන ලදි. මේ සඳහා අවශ්‍ය වන මුදල් මහ බැංකුව විසින් සිය සංචිතවලින් මුදා හරින ලදි. වෙනත් සහන නොලැබූ පුද්ගලයන් සඳහා ද දින 60ක උපරිමයක් දක්වා ණය වාරික අය නොකර සිටීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මහ බැංකුව කටයුතු කළේ ය. මේ පියවර මගින් සමාජ තහංචි සමයේ ආදායම් නොලැබී ගිය බැංකු ගනුදෙනුකරුවන්ට විශාල මුල්‍ය සහනයක් පිරිනැමිණි.     මුල්‍ය අංශයේ සහන ලබා දීම් තව දුරටත් පුළුල් කරමින් බැංකු විසින් උකස් ණය සඳහා අය කෙරෙන උපරිම වාර්ෂික පොලී අනුපාතිකය 12%ක උපරිමයකට සීමා කිරීමට මහ බැංකුව කටයුතු කළේ ය.

    මුල්‍ය සමාගම් සහ කල්බදු සමාගම්වලට අදාළ ද්‍රවශීල වත්කම් අනුපාත පහත දැමීමෙන් සහ       ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක අරමුදල මගින් මුදල් සමාගම්වලට රුපියල් කෝටි 2,000ක ද්‍රවශීලතා පහසුකමක් සැලසීමෙන් මුල්‍ය අංශයේ ආයතනවලට ඇති විය හැකි අපහසුතා කළමනාකරණය කර දීමට ද මහ බැංකුව සක්‍රීය ලෙස මැදිහත් වී ඇත. මේ ආකාරයෙන් ඒ ඒ ජන කොටස් මුහුණ දෙන විවිධාකාරයේ මුදල් අර්බුදයන් සඳහා සහන සැලසීමට                   ශ්‍රී ලංකා මහ බැංකුවට හැකියාව ලැබිණි. තව ද තැන්පතු රක්ෂණ අරමුදල මගින් අසමත් වූ මුල්‍ය සමාගම්වල තැන්පත්කරුවන් වෙත රක්ෂණ වන්දි ගෙවීම ද කඩිනම් කරන ලද අතර එමගින් ද මහජනතාව දුෂ්කරතාවන්ට පත්වීම වලක්වන ලදි. සේවක අර්ථ සාධක අරමුදල මනාව කළමනාකරණය කිරීම මගින් පෞද්ගලික අංශයේ සේවකයන්ගේ ඉතුරුම් සුරක්ෂිත කිරීම ද මහ බැංකුව මේ හදිසි තත්ත්වය හමුවේ නොවෙනස්ව ඉටු කළ වගකීමකි. මේ සියල්ල මගින් කොවිඩ්-19 වයිරසයේ අභියෝගය හමුවේ මූල්‍ය අංශය ආරක්ෂා කර ගැනීමට මහ බැංකුවට හැකි විය.

    කොවිඩ්-19 වසංගතය පැතිර යෑමත් සමඟ විදේශිකයන් ශ්‍රී ලංකාව තුළ සිදු කර තිබූ ආයෝජන විශේෂයෙන් ම රජයේ සුරැකුම්පත්වල කර තිබූ ආයෝජන රටින් පිටතට ගලා යෑම වේගවත් විය. අපනයන ආදායම, සංචාරක ඉපැයීම්, විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සහ විදේශ ආයෝජන වශයෙන් වූ විනිමය ලැබීම් ඉතා අවම මට්ටමක පැවතීමත් සමග විදේශයන්ට ආයෝජන ගලා යාම නිසා විනිමය අනුපාතය අවප්‍රමාණය විමේ නැඹුරුවක් ද පැවතුණි. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා රුපියලෙහි අගය පිරිහීම වළකාලීමට විදේශ විනිමය වෙළඳපොළවල ඇති දැඩි පීඩනය ලිහිල් කිරීම අත්‍යවශ්‍ය විය. මේ සඳහා කඩිනම් ක්‍රියා මාර්ගයන් රැසක් ඉදිරිපත් කිරීම මහ බැංකුව විසින් සිදු කළ තවත් වැදගත් මැදිහත් වීමකි. ඒ අනුව වාහන ආනයනය සහ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සඳහා පහසුකම් සැලසීම තාවකාලිකව අත්හිටුවන ලෙස බැංකුවලට උපදෙස් ලබා දී ඇත. විදේශ මුදල් පිටරටවලට යැවීම සම්බන්ධ සීමාවන් පැනවීමට ද කටයුතු කර ඇත. මේ ක්‍රියාමාර්ග ඔස්සේ මහ බැංකුව විසින් සිදු කර ඇත්තේ දේශීය ආර්ථිකයට සහ මුල්‍ය පද්ධතියට පීඩනයක් යොමු වීම තුළින් පොදු මහජනතාවගේ එදිනෙදා ආර්ථික කටයුතුවලට අහිතකර බලපෑම් ඇතිවීමට තිබූ ඉඩකඩ අහුරා දැමීම සහ දේශීය කර්මාන්ත වැඩි දියුණු කර ගැනීම සඳහා අවස්ථාවන් ලබා දීමයි. වසංගත තත්ත්වය හේතුවෙන් ඇති වූ අවිනිශ්චිතතාවය හමුවේ විදේශ සංචිත මට්ටමට බලපෑමක් නොවන පරිදි, විදේශ විනිමය වෙළඳපොළට අවශ්‍ය අරමුදල් සැපයීම සඳහා විවිධ විදේශ විනිමය හුවමාරු ගිවිසුම් වෙන්දේසි ක්‍රමය ක්‍රියාත්මක කරන ලද අතර එම වෙන්දේසි හරහා දේශීය විදේශීය විනිමය වෙළඳපොළ වෙත එක්සත් ජනපද ඩොලර් කෝටි 28ක් සපයන ලදි.

    රටේ ජාතික ගෙවීම් සහ පියවීම් පද්ධතිය නොකඩවා ම නිසි ලෙස පවත්වා ගන්නා ලද්දේ ද         ශ්‍රී ලංකා මහ බැංකුව විසිනි. එමගින් දේශීය සහ විදේශීය වශයෙන් ද සිදු වන ගනුදෙනු සඳහා අඛණ්ඩව පහසුකම් සැලසීමෙන් ආර්ථිකයේ සුමට ක්‍රියාකාරීත්වය තහවුරු කරනු ලැබිණි. බැංකු මගින් ක්ෂණිකව ආපසු ලබා ගත හැකි මුදල් සීමාවන් ඉහළ දමන ලද අතර අන්තර්ජාලය සහ විද්‍යුත් උපාංග මගින් බැංකු ගනුදෙනු සිදු කිරීමේ අවස්ථාවන් පුළුල් කරන ලදි. මුල්‍ය පද්ධතිය තුළ ගනුදෙනු සිදුකිරීම සඳහා පහසුකම් සැලසීම ඒ ආකාරයෙන් ඵලදායීව සැලසුම් කිරීම නිසා සමාජ තහංචි සමයේ වුව ද සිය ආර්ථික ක්‍රියාකාරකම් පවත්වා ගැනීමට මහජනතාවට හැකියාව ලැබිණි. බැංකු සහ අනෙකුත් මූල්‍ය ආයතනවල ශාඛා වෙත නොගොස් නිවසේ සිට ම තම කටයුතු සිදු කිරීමට අවශ්‍ය ඉලෙක්ට්‍රොනික බැංකු කටයුතු සඳහා ලියාපදිංචි වීමේ පහසුකම් ගනුදෙනුකරුවන්ට ලබා දුන් අතර එම සේවාවන් ලියාපදිංචි වීමේ ගාස්තුවලින් ද නිදහස් කරන ලදි. ඒ සමග ම දුරකථන හා වෙනත් සන්නිවේදන ක්‍රමවලින් ගනුදෙනුකරු හඳුනාගෙන පසු දිනක දී නැවත බැංකු ශාඛා වෙත ගොස් තම අනන්‍යතාව ඔප්පු කිරීමේ කොන්දේසියට යටත් ව ඉලෙක්ට්‍රොනික මුදල් පසුම්බි (Virtual Wallets) පහසුකම ලබා දීමට ද පියවර ගැනුණි. ඉලෙක්ට්‍රොනික ගනුදෙනු සඳහා වැඩි නැඹුරුවක් ඇති කිරීමේ අරමුණින් ඒවා මගින් ගනුදෙනු කිරීමේ සීමාවන් තාවකාලිකව ලිහිල් කිරීම ද සිදු විය. අන්තර්ජාලය හරහා කරන ඇණවුම්වලට භාණ්ඩ සැපයීමේ දී එම වෙළඳුන්ට පනවා තිබූ යම් යම් සීමාවන් ද මේ කාලය තුළ දී ලිහිල් කරන ලද අතර ඊට අමතරව ‘ලංකා පේ’ (LankaPay) මංගත ගෙවීම් වේදිකාව හරහා රාජ්‍ය හා පෞද්ගලික ආයතන වෙත කෙරෙන ගෙවීම්වල උපරිම සීමාව ද ඉහළ දමන ලදි. මහජනතාවට බැංකුවලින් මුදල් ලබා ගැනීමට ඇති හැකියාව අවහිර නොවීම සඳහා හදිසි අවශ්‍යතාවක් ලෙස සලකා බැංකු වෙත පනවා තිබූ විවිධ සීමාවන් ලිහිල් කරනු ලැබිණි. දේශීය වශයෙන් පමණක් නොව විදේශීය වශයෙන් ද රජයේ ණය ගෙවීම් ඇතුළු අන්තර්ජාතික ගනුදෙනු සඳහා අවශ්‍ය විදේශ මුදල් අඛණ්ඩ ව සපයා ගැනීමට අවශ්‍ය පසුබිම සකසා දෙනු ලැබුවේ ද මහ බැංකුව විසිනි.

    නිවසට පැමිණෙන වෙළෙන්දන්ගෙන් යමක් මිලදී ගන්නටවත් අතේ මුදලක් නොමැති ව සිටි අවස්ථාවන්හි දී පිටරට සේවය කරන තම ඥාතීන් එවූ මුදල් පවා නිවසට ම ගෙනැවිත් දීමේ සේවාවන් සැපයීම සඳහා මහ බැංකුවේ අනුමැතිය ලබා දෙන ලදි. එසේම ස්වයංක්‍රීය මුදල් ආපසු ගැනීමේ යන්ත්‍ර (ATM) වෙත ගොස් මුදල් ගැනීම ද, අවදානම් කාර්යයක් වූ සමයේ ජංගම ATM යන්ත්‍ර මගින් මුදල් ලබා ගැනීමේ පහසුකම් ගනුදෙනුකරුවන්ගේ නිවෙස්වලට ම ගොස් ලබා දීමට ද මහ බැංකුවේ අනුමැතිය ලබා දෙන ලදි. රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙත යම් යම් සහන සැලසීමට ද අමතක නොකළ මහ බැංකුව ATM යන්ත්‍ර මගින් මුදල් ලබා ගැනීමේ දී ඒ සඳහා ගෙවිය යුතු අමතර ගාස්තුවලින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් නිදහස් කරන ලෙස බැංකු වෙත උපදෙස් දුන්නේ ය. ඇඳිරි නීතිය තුළ සිරගතව සිටි සෑම තරාතිරමක ම මහජනතාවට මුදල් ලබා ගැනීමේ අවහිරතා ඇති නොවන්නට මහ බැංකුව එසේ වග බලා ගත්තේ ය.

    මහජනතාවට සහන ලබා දෙන අතරේ එම සහන ක්‍රියාත්මක කරන බැංකුවලට ද සිය කාර්යයන් පහසු කරගැනීම සඳහා පහසුකම් සලසනු ලැබිණි. බලපත්‍රලාභී වාණිජ බැංකුවල මුදල් නෝට්ටු තැන්පතු සඳහා අය කෙරෙන සේවා ගාස්තුව අප්‍රේල් 1 වන දා සිට මාස තුනක කාලයක් දක්වා අය නොකිරීමට තීරණය කිරීම එක් නිදසුනකි. රුපියල් පන් ලක්ෂයට වඩා අඩු වටිනාකමින් යුත් චෙක්පත්වල වලංගු කාලය ද මැයි 31 වන දින දක්වා දීර්ඝ කළ අතර සේවක අර්ථ සාධක අරමුදලේ ප්‍රතිලාභ ගෙවීම සඳහා මහ බැංකුවෙන් නිකුත් කරන ලද චෙක්පත්වල වලංගු කාලය ජුනි 30 දක්වා දීර්ඝ කරනු ලැබිණි.

    ඉහතින් දක්වන ලද්දේ මහ බැංකුව විසින් කොවිඩ්-19 වසංගත සමයේදී ක්‍රියාත්මක කරනු ලැබූ ප්‍රධාන ම ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ගවලින් කිහිපයක් පමණි. වසංගත සමයේ දී සෞඛ්‍ය සැලසුම් සහ ජනතා සහන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ද, මහජනතාවට අපහසුවක් නොවන පරිදි අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගෙන, අඩු පිරිවැයක් සහිතව එදිනෙදා අවශ්‍යතා ඉටු කරගැනීමට ද, රජයේ කටයුතු පහසු කර ගැනීමට ද අවශ්‍ය පසුබිම සකස් කරන ලද්දේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරන ලද ඉහත කී සහ නොකී ප්‍රතිපත්ති සහ පියවරයන් මගින් බව මේ අනුව පැහැදිලි වනු ඇත. උද්ගත වූ හදිසි අවස්ථාවේ දී රටක් වශයෙන් මුහුණ දුන් අභියෝගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සිය උපරිම දායකත්වය රජය සහ මහජනතාව වෙත සපයන ලද අතර එහිදී මහ බැංකුව සතු සියලු ම උපාංග (Tools) පමණක් නොව නව ක්‍රමවේදයන් ද යොදා ගෙන ඇත. මේ කාර්යභාරය මහ බැංකුව විසින් ඉස්පාසුවකින් තොරව අඛණ්ඩව මේ වන විට ද සිදු කරමින් සිටියි.

    ලොව සෑම රටක ම පාහේ මහ බැංකු මේ දුෂ්කර අවස්ථාවේ කඩිනම් ප්‍රතිචාර දක්වා ඇත. එහෙත් එම ප්‍රතිචාර එක් එක් රටවල ආර්ථිකයන්හි ස්වභාවයන්ට ද, වර්ධන හා සංවර්ධන මට්ටම්වලට ද අනුකූල වූ ඒවා ය. එමෙන් ම ඒවා රාජ්‍ය මූල්‍ය අංශයෙහි ශක්තිමත් බව මත පදනම් වූ ප්‍රතිචාර බව ද කිව යුතු ය. විශේෂයෙන් ම රජයේ ආදායම් මට්ටම, වියදම් අවශ්‍යතා, ණය සම්පාදන හැකියාව යනාදිය මත ද එම පියවර රඳා පවතී. බොහොමයක් මහ බැංකු සිය කාර්ය භාරය උපරිම අන්දමින් ඉටු කරන්නට සම්ප්‍රදායෙන් ඔබ්බට ගොස් තිබේ. එහෙත් එසේ කිරීමේ දී එයට අදාළ නීති පද්ධතිය සමග අනුකූලව කටයුතු කිරීමත්, ආර්ථිකයේ දිගු කාලීන අවාසි හා කෙටි කාලීන වාසි අතර තුලනයක් පවත්වා ගැනීමත් අවශ්‍ය වේ.

    කොවිඩ්-19 වසංගතයේ ව්‍යාප්තියත් සමඟ ආර්ථික ක්‍රියාකාරකම් සඳහා සහාය වීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගනු ලැබූ ප්‍රධාන ප්‍රතිපත්ති හා මෙහෙයුම් ක්‍රියාමාර්ග ඇතුළත් ලැයිස්තුවක් පහතින් දක්වා ඇත.

     

    කොවිඩ්-19 වසංගතයේ ව්‍යාප්තියත් සමඟ ආර්ථික ක්‍රියාකාරකම් සඳහා  සහාය වීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගනු ලැබූ ප්‍රධාන ප්‍රතිපත්ති හා මෙහෙයුම් ක්‍රියාමාර්ග

     

    1. පොලී අනුපාතික අඩු කිරීම, වෙළඳපොළ අරමුදල් ප්‍රමාණය ඉහළ නැංවීම සහ රජය වෙත අරමුදල් සැපයීම

     

    • 2020 ජනවාරි 30 වැනි දින: කොවිඩ්-19 වසංගතය ව්‍යාප්ත වීමත් සමඟ එමගින් ආර්ථිකයට වන බලපෑම අවම කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික, එනම් ශ්‍රී ලංකා මහ බැංකුව වාණිජ බැංකුවලට ණය ලබා දීමේ දී සහ වාණිජ බැංකු ඔවුන්ගේ අතිරික්ත මුදල් මහ බැංකුවේ තැන්පතු ලෙස පවත්වා ගැනීමේ දී අදාළ වන පොලී අනුපාතික,5%කින් පහත ‌හෙලන ලද අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ එම ක්ෂණික ප්‍රතිචාරය මහ බැංකුකරණය පිළිබඳ නිරන්තරයෙන් අවධානයෙන් සිටින “www.centralbanknews.info” වැනි ජාත්‍යන්තර මාධ්‍ය මගින් පවා පැසසුමට ලක් කෙරුණි.
    • 2020 පෙබරවාරි 26 වැනි දින: ශ්‍රී ලංකා මහ බැංකුව 2019 වසරේ දී උපයා ගත් ශුද්ධ ලාභය, එනම් රුපියල් කෝටි 2,400ක මුදලක් රජය වෙත ලබා දෙන ලදි.
    • 2020 මාර්තු 05 වැනි දින: මහ බැංකුවේ පොලී අනුපාතික අඩු අගයක එලෙස ම පවත්වා ගනිමින් මූල්‍ය ආයතනවලට කොවිඩ්-19 වසංගතයේ බලපෑම හේතුවෙන් පැන නැගිය හැකි හදිසි මුදල් අවශ්‍යතා වෙනුවෙන් අවශ්‍ය අරමුදල් දේශීය මූල්‍ය වෙළඳපොළට සැපයීමට සුදානම් බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වෙළඳපොළ වෙත දන්වා සිටින ලදි.
    • 2020 මාර්තු 13 වැනි දින: විශේෂ අවස්ථාවක් ලෙස සලකා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජයේ හදිසි මුදල් අවශ්‍යතා සපුරාලීම සඳහා මුදල් ලබාදීමට රුපියල් කෝටි 5,000ක වටිනාකමකින් යුතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රාථමික වෙළඳපොළන් මිලදී ගැනීම සිදු කරන ලදි.
    • 2020 මාර්තු 16 වැනි දින: ශ්‍රී ලංකා මහ බැංකුව වාණිජ බැංකුවලට ණය ලබාදීමේ දී සහ වාණිජ බැංකුවලින් තැන්පතු ලබාගැනීමේ දී අදාළ වන පොලී අනුපාතික තවදුරත් 0.25%කින් අඩු කළේ ය. වාණිජ බැංකු විසින් මහජනතාවගේ සෑම රුපියල් තැන්පතුවකින් ම 5%ක් ලෙස මහ බැංකුවේ තබා ගත යුතුව පැවති තැන්පතු අවශ්‍යතාව (ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය) 4%ක් දක්වා 1%කින් පහත හෙලන ලදී. මෙම ක්‍රියාමාර්ගය හරහා මහ බැංකුවේ රඳවා ගෙන පැවති වාණිජ බැංකුවල තැන්පතු රුපියල් කෝටි 6,500ක මුදලක් වාණිජ බැංකු වෙත නිදහස් කිරීම සිදු විය.
    • 2020 මාර්තු 23 වැනි දින: ඉන්ධන මිල ස්ථාවරව පවත්වාගෙන යෑම පහසු කරලීම සඳහා අවශ්‍ය විශේෂ අරමුදලක් පිහිටුවීමේ අරමුණින් රුපියල් කෝටි 5,000ක මුදලක් රජයට ලබා දීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රාථමික වෙළඳපොළෙන් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගන්නා ලදි.
    • 2020 මාර්තු 24 වැනි දින: වසංගතය නිසා බලපෑමට ලක් වූ ව්‍යාපාරිකයන්ට සහ පුද්ගලයින්ට පහසුකම් සැලසීමේ අරමුණින් විවිධ සහන ලබා දීමට ශ්‍රී ලංකා මහ බැංකුව, වාණිජ බැංකු සහ ලීසිං සමාගම්වලට නියෝග නිකුත් කරන ලදි. ඒ අනුව, ණය හා පොලිය ගෙවීම ප්‍රමාද කිරීම, 4%ක පොලී අනුපාතිකයට කාරක ප්‍රාග්ධන ණය ලබා දීම, ණය කාඩ්පත් සඳහා නොගෙවීමක දී අය කරනු ලබන පොලිය සහ අතිරේක ගාස්තු මෙන් ම ගෙවිය යුතු අවම මුදල අඩු කිරීම, චෙක්පත් කල් පිරීමේ කාලය දීර්ඝ කිරීම සහ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ කාලයේ දී මහජනතාවගේ මූල්‍ය අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා වාණිජ බැංකු ශාඛා විවෘතව පවත්වා ගෙන යෑමට නියෝග කරන ලදි.
    • 2020 මාර්තු 25 වැනි දින: වසංගතයේ බලපෑමට ලක් වූ ව්‍යාපාර හා පුද්ගලයන් වෙනුවෙන් වූ ඉහත නියෝගය බලපත්‍රලාභී මුදල් සමාගම්වලට අදාළව ද නිකුත් කරන ලදි.
    • 2020 මාර්තු 27 වැනි දින: 2020 මාර්තු 25 වන දිනෙන් ආරම්භ වන පරිදි, ස්වයං රැකියා ව්‍යාපාර සහ පුද්ගලයින් ද ඇතුළු, කොවිඩ්-19 වසංගතයේ බලපෑම එල්ල වූ ව්‍යාපාරවලට සහාය වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් කෝටි 5,000ක ප්‍රතිමූල්‍ය වැඩසටහනක් ආරම්භ කරන ලදි. මෙම ප්‍රතිමූල්‍ය පහසුකම ලබා ගැනීම සඳහා වන සුදුසුකම් දැනුම් දෙමින්, බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂිත බැංකු, බලපත්‍රලාභී මුදල් සමාගම් සහ ලීසිං සමාගම්වලට ඉහත දැක්වූ පරිදි නව නියෝග නිකුත් කරන ලද අතර, මෙම ප්‍රතිමූල්‍යකරණ පහසුකම බලගැන්වීම සඳහා මෙහෙයුම් මාර්ගෝපදේශ ද එමගින් ඉදිරිපත් කෙරිණි. මෙම සහන අතරට, ණය නැවත ගෙවීම් (පොලිය ද ඇතුළත් ණය වාරිකය) තාවකාලිකව අත්හිටුවීම සහ සුදුසුකම් ලත් ගනුදෙනුකරුවන් සඳහා වාර්ෂිකව 4%ක පොලී අනුපාතයකට ලබා දෙන කාරක ප්‍රාග්ධන ණය ආදි ය ද ඇතුළත් වේ.
    • 2020 මාර්තු 30 වැනි දින:
      • බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා වූ අවශ්‍ය අරමුදල් ලබා ගැනීම සඳහා මහ බැංකුව දිගු කාලීන ද්‍රවශීලතා ආධාර සැපයීම දින 14 සිට දින 90ක් දක්වා දීර්ඝ කරන ලදි. මෙම පහසුකම බලපත්‍රලාභී වාණිජ බැංකුවලට ඔවුන්ගේ දිගුකාලීන මුදල් අවශ්‍යතා නිශ්චිතව ම ලබා ගැනීමට ඉවහල් විය.
      • දෛනික පහසුකමට අමතරව බැංකු නොවන ප්‍රාථමික වෙළෙඳුන්ට දිගු කාලීනව අවශ්‍ය අරමුදල් සැපයීම ආරම්භ කරන ලදි.
    • 2020 අප්‍රේල් මස 03 වැනි දින: ශ්‍රී ලංකා මහ බැංකුව වාණිජ බැංකුවලට ණය ලබාදීමේ දී සහ වාණිජ බැංකුවලින් තැන්පතු ලබා ගැනීමේ දී අදාළ වන පොලී අනුපාතික තව දුරටත් 0.25%කින් අඩු කළේ ය.
    • 2020 අප්‍රේල් 03 වැනි දින: අප්‍රේල් මාසයේ දී රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීමට රජයට පහසුකම් සැලසීම සඳහා රුපියල් කෝටි 6,000ක භාණ්ඩාගාර බිල්පත් මහ බැංකුව විසින් ප‍්‍රාථමික වෙළඳපොළෙන් මිලදී ගන්නා ලදි.
    • 2020 මාර්තු 25 වැනි දින: භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ සිට, භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ දී යම් හිඟයක් ඇතිවුවහොත් එම හිඟය පියවීම සඳහා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් ප්‍රාථමික වෙළඳපොළෙන් මිල දී ගැනීම ආරම්භ කරන ලදි. එතැන් සිට, මහ බැංකුව එවැනි අඩුපාඩු සපුරාලීම සඳහා රුපියල් කෝටි 6,740ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් මිල දී ගෙන ඇත.
    • 2020 අප්‍රේල් මස 16 වැනි දින: වාණිජ බැංකුවකට වෙනත් කිසිදු ආකාරයකින් සිය අරමුදල් සපයා ගැනීමට නොහැකි අවස්ථාවක දී මහ බැංකුවෙන් ණය ලබා ගැනීමට අදාළ වන බැංකු පොලී අනුපාතිකය 2003 වසරේ සිට පැවති 15%ක ඉහළ මට්ටමක සිට ප්‍රථම වරට 10%ක් දක්වා 5%කින් අඩු කරන ලදි. තව ද, බැංකු අනුපාතිකය මහ බැංකුවේ ප්‍රධාන පොලී අනුපාතික පහළ දැමීමට අනුකූලව ගැළපීමට ද තීරණය කරන ලදී.
    • 2020 අප්‍රේල් 16 වැනි දින: වාණිජ බැංකු විසින් දෛනිකව මහ බැංකුවේ පවත්වා ගත යුතු අවම තැන්පතු (සංචිත) අවශ්‍යතාව 90% සිට 20% දක්වා අඩු කරන ලදි. මෙමගින් වාණිජ බැංකුවලට ඔවුන්ගේ දෛනික ද්‍රවශීලතා අවශ්‍යතාවයන් වඩාත් හොඳින් කළමනාකරණය කර ගැනීමට හැකියාව ලැබුණි.
    • 2020 අප්‍රේල් 27 වැනි දින: කොවිඩ්-19 වසංගතයෙන් පීඩාවට පත් අඩු ආදායම්ලාභී පුද්ගලයන්ට සහන සැලසීම අරමුණු කර ගනිමින් රන් භාණ්ඩ උකස් පොලී අනුපාතිකය වසරකට 12%ක් හෝ මාසයකට 1%ක් ලෙස වසරකට අඩු කාලයකට ලබා ගන්නා උකස් ණය සඳහා උපරිම පොලී අනුපාතිකයන්ට යටත්ව අය කර ගන්නා මෙන් වාණිජ බැංකුවලට උපදෙස් ලබා දෙන ලදි.
    • 2020 අප්‍රේල් 28 වැනි දින: ණය පහසුකම් වැඩසටහන යටතේ ණය ලබා ගැනීම සඳහා සුදුසුකම් සහිත පුද්ගලයින්ගේ ණය අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය 2020 මැයි 15 දින දක්වා දීර්ඝ කළ බව වාණිජ බැංකු වෙත දැනුම් දෙන ලදි.
    • 2020 මැයි 04 වැනි දින: බැංකු නොවන ප්‍රාථමික වෙළෙඳුන් හට ඔවුන්ගේ හදිසි අරමුදල් අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් ද්‍ර‍වශීලතා ආධාරක පහසුකම් වැඩසටහනක්  ආරම්භ කරන ලදි.
    • 2020 මැයි06 වැනි දින: ශ්‍රී ලංකා මහ බැංකුව වාණිජ බැංකුවලට ණය ලබාදීමේ දී සහ වාණිජ බැංකුවලින් තැන්පතු ලබාගැනීමේ දී අදාළ වන පොලී අනුපාතික නැවතත් 5%කින් අඩු කළේ ය. මූල්‍ය ආයතනවලට හදිසි අවස්ථාවක දී මහ බැංකුවෙන් ණය ලබා ගැනීමට අදාළ වන බැංකු අනුපාතිකය ද 0.5%කින් තවදුරටත් පහත හෙලන ලදී.
    • 2020 ජූනි16 වැනි දින: වාණිජ බැංකු විසින් මහ බැංකුවේ තැන්පතු ලෙස පවත්වා ගෙන යනු ලබන මුදල් ප්‍රමාණය (ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය) 2%කින් තවදුරටත් පහළ දමන ලදි. මෙම තීරණය හරහා වැඩි වශයෙන් ණය ලබා දීමට වාණිජ බැංකුවලට ඇති අරමුදල් ප්‍රමාණය රුපියල් කෝටි 11,500කින් ඉහළ ගියේ ය.
    • 2020 ජූනි 16 වැනි දින: ආර්ථික ක්‍රියාකාරකම් යළි නගා සිටුවීම සඳහා වසංගතය හේතුවෙන් විපතට පත් ව්‍යාපාරික අංශවලට (ඉදිකිරීම් හා අනෙකුත් අවශ්‍ය අංශ) සඳහා 4%ක පොලී අනුපාතිකයක් යටතේ ණය ලබා දීමට මහ බැංකුව විසින් නව ණය යෝජනා ක්‍රම තුනක්  ක්‍රියාවට නංවන ලදි.
      • ඒ අනුව, 2020 මාර්තු මස 27 වැනි දින හඳුන්වා දුන් ප්‍රතිමූල්‍යකරණ යෝජනා ක්‍රමය යටතේ ලබා දී තිබූ රුපියල් කෝටි 2,800ට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකුවලට 1%ක සහන පොලී අනුපාතිකයක් යටතේ පුළුල් පරාසයක ඇපකර පොරොන්දු මත අරමුදල් ලබා දෙනු ඇති අතර, එම පහසුකම දේශීය ව්‍යාපාර බොහොමයක් සඳහා ‌බෙදී යාම සහතික කරමින් බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් එම අරමුදල් 4%ක පොලී අනුපාතිකයක් යටතේ ව්‍යාපාරවලට ලබා දෙනු ඇත. මෙම යෝජනා ක්‍රමය සහ දැනට පවතින ප්‍රතිමූල්‍ය යෝජනා ක්‍රමය මගින් කොවිඩ්-19 වසංගතයෙන් බලපෑමට ලක්වූ ව්‍යාපාර සඳහා සම්පූර්ණ වශයෙන් රුපියල් කෝටි 15,000ක් සැපයෙනු ඇත.
      • මීට අමතරව, ඉදිකිරීම් අංශයේ ව්‍යාපාර විසින් අතීතයේ සිදු කරන ලද කොන්ත්‍රාත් ව්‍යාපෘති සඳහා ලැබිය යුතු මුදලට සමානව රජය විසින් නිකුත් කෙරෙන ඇපකරයක් මත ඉහත සඳහන් සහනදායි පොලී අනුපාතික යටතේ ණය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අරමුදල් සම්පාදනය කරනු ලබන අතර එම ව්‍යාපාර සඳහා ම වෙන් වූ ණය යෝජනා ක්‍රමයක් ද හඳුන්වා දෙනු ඇත.

     

    1. විදේශ විනිමය ප්‍රවාහ කළමනාකරණය, විනිමය අනුපාතිකයේ ස්ථාවරත්වය පවත්වා ගැනීම සහ ජාත්‍යන්තර සංචිත ආරක්ෂා කර ගැනීම සඳහා ගෙන ඇති පියවර

     

    • 2020 මාර්තු 19 වැනි දින: කොවිඩ්-19 වසංගතයේ බලපෑම හේතුවෙන් විනිමය අනුපාතිකයට ඇතිවන පීඩනය සහ මූල්‍ය වෙළඳපොළ තුළ ඇති වන ආතතිය ලිහිල් කිරීමේ අදහසින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව වෙත බැංකු පනත් විධාන නිකුත් කරන ලද අතර ඒ අනුව;
      • පහත සඳහන් දෑ ආනයනය කිරීම සඳහා පහසුකම් සැපයීම අත්හිටුවීම;
        • ණයවර ලිපි යටතේ, බැංකු පනත් විධාන තුළින් විශේෂයෙන්ම බැහැර කර ඇති ඒ්වා හැර අනෙකුත් සියලුම වර්ගයේ මෝටර් රථ;
        • ණයවර ලිපි, ප්‍රතිග්‍රහණය මත ලියවිලි ලබාද‍ීම සහ අත්තිකාරම් ගෙවීම් යටතේ විධානයන්හි දක්වා ඇති අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ;
      • ශ්‍රී ලංකා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර මිලදී ගැනීම අත් හිටුවීම.

    මෙම පියවර දෙක ම මාස තුනක කාලයක් සඳහා හඳුන්වා දෙන ලදි.

    • 2020 මාර්තු 19 වැනි දින: ඉල්ලුම හේතුවෙන් විනිමය අනුපාතිකයට ඇති වන පීඩනය තව දුරටත් ලිහිල් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ නේවාසිකයින්ට ඕනෑම කටයුත්තක් සඳහා කෙරෙන විදේශ සංචාරවල දී ගමන් වියදම් ලෙස ගෙන යාමට පෙර අනුමැතිය දී තිබූ එ.ජ. ඩොලර් 10,000ක මුදල පහත හෙලමින්, එ.ජ. ඩොලර් 5,000ක (හෝ ඒ හා සමාන වටිනාකමක වෙනත් විදේශ ව්‍යවහාර මුදල්) උපරිමයකට යටත්ව විදේශ මුදල් නිකුත් කරන මෙන් ශ්‍රී ලංකා මහ බැංකුව බලයලත් වෙළෙඳුන්ට විධාන නිකුත් කළේ ය.
    • 2020 මාර්තු 20 වැනි දින: 2020 මාර්තු 19 වන දින නිකුත් කරන ලද බැංකු පනතේ විධානයන්ට සමගාමීව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගෙවීම් මත ලේඛන සහ විවෘත ගිණුම් ක්‍රමය යටතේ ඇතැම් අත්‍යවශ්‍ය නොවන පාරිභෝගික භාණ්ඩ ආනයනය කිරීම සඳහා විදේශ විනිමය නිකුත් කිරීම් ද වහාම ක්‍රියාත්මක වන පරිදි 2020 ජූනි 20 වන දිනය තෙක් මාස තුනක කාලයක් සඳහා අත්හිටුවන ලෙස බලයලත් වෙළඳුන්ට විධාන ද නිකුත් කරන ලදි.
    • 2020 මාර්තු 20 වැනි දින: වසංගත තත්ත්වය හේතුවෙන් ඇති වූ අවිනිශ්චිත තත්ත්වයන් හමුවේ විදේශ සංචිත මට්ටමට බලපෑමක් නොවන පරිදි, විදේශ විනිමය වෙළඳපොළට ද්‍රවශීලතාවය සැපයීම සඳහා විකුණුම්-ගැණුම් විදේශ විනිමය හුවමාරු ගිවිසුම් (Sell-Buy Forex SWAP) වෙන්දේසි ක්‍රමය ක්‍රියාත්මක කරන ලදි. මෙම වෙන්දේසි හරහා මෙරට විදේශ විනිමය වෙළඳපොළ වෙත එ.ජ. ඩොලර් කෝටි 28ක් සපයන ලදී.
    • 2020 අප්‍රේල් 02 වැනි දින: රට තුළ පවතින විදේශ මුදල් සංචිත මට්ටම ආරක්ෂා කර ගැනීමේ අරමුණින්, විනිමය අනුපාතිකය මත පවත්නා පීඩනය අවම කිරීමේ අවශ්‍යතාව සහ
      කොවිඩ්-19 වසංගත තත්ත්වය නිසා ශ්‍රී ලංකා ආර්ථිකයට ඇති විය හැකි අයහපත් බලපෑම සලකා බලා, ගරු මුදල් අමාත්‍යතුමා විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිර්දේශ මත ශ්‍රී ලංකාවෙන් බැහැරට අරමුදල් ප්‍රේෂණය කිරීම සඳහා මාස තුනක කාල සීමාවකට අදාළ වන පරිදි පහත සඳහන් තාවකාලික නියාමන ක්‍රියාමාර්ග පනවන ලදි.

      • පහත සඳහන් ආයෝජන හැර ශ්‍රී ලංකාව තුළ නේවාසික පුද්ගලයන් විසින් විදේශ රටක ආයෝජන සිදු කිරීමේ අරමුණින් ප්‍රතිමුඛ ආයෝජන ගිණුම් (Outward Investment Accounts) හරහා ලංකාවෙන් බැහැරට මුදල් ප්‍රේෂණය කිරීමට ලබා දී ඇති පොදු අවසරය අත්හිටුවන ලදි.
        • විදේශ විනිමය පනතේ ප්‍රතිපාදන යටතේ ආයෝජකයා විසින් ශ්‍රී ලංකාවෙන් බැහැර නේවාසික පුද්ගලයෙකුගෙන් විදේශ ව්‍යවහාර මුදල්වලින් ලබා ගත් ණය මුදලක් මගින් එකී ආයෝජන මූල්‍යනය කිරීමට නියමිත අවස්‍‍‍ථාවක දී හෝ
        • ආයෝජන සිදු කිරීමට නියමිත රටෙහි නියාමන අවශ්‍යතාවයක් සපුරාලීම සඳහා සිදු කරන ආයෝජන
      • ජංගම ගනුදෙනු සඳහා වන ප්‍රේෂණ හැර, ශ්‍රී ලංකාව තුළ නේවාසික පුද්ගලයන් විසින් පවත්වා ගෙන යනු ලබන ව්‍යාපාරික විදේශ විනිමය ගිණුම් හා පුද්ගලික විදේශ විනිමය ගිණුම් හරහා සිදු කරන ප්‍රතිමුඛ ප්‍රේෂණ අත්හිටුවන ලදි.
      • දැනටමත් සංක්‍රමණික දීමනාවට හිමිකම් පා ඇති විගාමිකයන් විසින් ප්‍රාග්ධන ගනුදෙනු රුපියල් ගිණුම් හරහා සංක්‍රමණික දීමනාව යටතේ අරමුදල් විදේශ රටකට යැවීම අත්හිටුවන ලදි.
    • පළමු වරට සංක්‍රමණ දීමනාව ඉල්ලා සිටින විගාමිකයන් සඳහා ලබා දෙන සංක්‍රමණ දීමනාව එ.ජ. ඩොලර් 30,000ක උපරිමයකට සීමා කර ඇත.
      • පහත දක්වා ඇති කරුණු සම්පූර්ණ වී ඇති විට, 2017 අංක 1 දරන විදේශ විනිමය (අවසර ලත් නියෝජිතයින් මගින් සිදු කරනු ලබන විදේශ විනිමය ප්‍රාග්ධන ගනුදෙනු) රෙගුලාසියෙහි පළමු උප ලේඛනයේ සඳහන් පොදු අවසරය යටතේ නිශ්චිතව දක්වා ඇති සීමාවන් ඉක්මවා යන සහ පහත සඳහන් අවශ්‍යතාවන් සපුරාලන ආයෝජන සඳහා, එක් එක් ආයෝජන මත පදනම්ව,  ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් විශේෂ අවසර ලබා දීම;
        • විදේශ විනිමය පනතේ ප්‍රතිපාදන යටතේ, ආයෝජකයා විසින් ශ්‍රී ලංකාවෙන් බැහැර නේවාසික පුද්ගලයෙකුගෙන් විදේශ ව්‍යවහාර මුදලින් ලබා ගත් ණය මුදලක් මගින් එකී ආයෝජනය මූල්‍යනය කිරීම, හෝ
        • ආයෝජනය සිදු කිරීමට නියමිත රටෙහි නියාමන අවශ්‍යතාවක් සපුරාලීම සඳහා ආයෝජන සිදු කිරීම.
      • 2020 අප්‍රේල් 03 වැනි දින: කොවිඩ්-19 ව්‍යාප්ත වීමෙන් පීඩාවට පත් ව්‍යාපාර සහ පුද්ගලයින්ට සහාය වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගනු ලැබූ අනෙකුත් නියාමන ක්‍රියාමාර්ගවලට සමගාමීව, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික විදේශ විනිමය ගිණුම් හිමියන්ට ඕනෑ ම විදේශ ව්‍යවහාර මුදලකින් ලබා දුන් ණය ආපසු අය කර ගැනීමේ දී ගනුදෙනුකරුවන්ට විදේශ ව්‍යවහාර මුදලින් ණය ආපසු ගෙවීමට අපහසුතා ඇති නම්, අවශ්‍ය පරිදි, අවසාන විකල්පය ලෙස එම ණය දේශීය ව්‍යවහාර මුදලින් ඇති ණයක් බවට පරිවර්තනය කිරීමටත් මහ බැංකුව අවසර ලබා දුන්නේ ය.
      • 2020 අප්‍රේල් 08 වැනි දින: ගරු මුදල් අමාත්‍යවරයා මුදල් මණ්ඩලය සමඟ සාකච්ඡා කර, අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ද ඇතිව, ද්විත්ව පුරවැසියන් සහ ලාංකික සම්භවයක් ඇති වෙනත් රටවල පුරවැසියන් ඇතුළුව ශ්‍රී ලංකාවේ හෝ ඉන් පිටත වාසය කරන ඕනෑ ම ශ්‍රී ලාංකිකයෙකුට මෙන් ම විදේශයන් හි ඇති අරමුදල්, සංස්ථාපිත මණ්ඩල, ආයතන, සංගම් සහ මෙරට සුභ සිද්ධිය පතන අනෙකුත් පාර්ශ්වයන්ට පහත සඳහන් අංගයන්ගෙන් සමන්විත විශේෂ තැන්පතු ගිණුමක් හඳුන්වා දෙමින් නියාමන නිකුත් කරන ලදි.
      • අවම කල් පිරීමේ සීමාව: මාස 06කි.
      • ගෙවිය යුතු පොලිය: සාමාන්‍ය තැන්පතු සඳහා අදාළ වන තැන්පතු පොලී අනුපාතවලට වඩා වාර්ෂිකව ප්‍රතිශතාංක එකක් සහ ප්‍රතිශතාංක ‌දෙකක් පිළිවෙළින් මාස 06ක සහ මාස 12ක විශේෂ තැන්පතු ගිණුම් සඳහා, තැන්පතුව කල්පිරීමේ දී ගෙවනු ලැබේ.
      • මුදල් ප්‍රේෂණය: තැන්පතු කල් පිරීමේ දී වෙනත් විදේශ ව්‍යවහාර මුදලකට පරිවර්තනය කිරීමට හෝ ශ්‍රී ලංකාවෙන් පිටතට ප්‍රේෂණය කිරීමට බාධාවක් නොමැත.
      • 2020 අප්‍රේල් 15 වැනි දින: ඉන්දියානු සංචිත බැංකුව සමඟ එ.ජ. ඩොලර් කෝටි 40ක ද්වි පාර්ශ්වීය විදේශ විනිමය හුවමාරු පහසුකමක් සඳහා අනුමැතිය ලබා ගෙන ඇති අතර, ඒ සඳහා සියලුම අවශ්‍යතාවයන් ශ්‍රී ලංකා මහ බැංකුව සපුරා ඇත.
      • 2020 අප්‍රේල් 16 වැනි දින: විදෙස්ගත රැකියා නියුක්තිකයන්ට විදේශ ව්‍යවහාර මුදලකින් ලබා දුන් ණය ආපසු අයකර ගැනීමේ දී ගනුදෙනුකරුවන්ට එවැනි ණය විදේශ ව්‍යවහාර මුදලින් පියවීම අතිශයින් අපහසු අවස්ථාවල දී, අවශ්‍ය පරිදි, අවසාන විකල්පය ලෙස එම ණය රුපියල්වලින් අය කර ගැනීමට මහ බැංකුව බලයලත් නියෝජිතයන්ට අවසර ලබා දුන්නේ ය.
      • 2020 අප්‍රේල් 24 වැනි දින: විනිමය අනුපාතිකයෙහි අධික උච්චාවචනයන් පාලනය කිරිමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විදේශ විනිමය වෙළඳපොළ වෙත ඉදිරි මැදිහත්වීම් සිදු කරන ලදි.
      • වාණිජ බැංකුවල ශුද්ධ විවෘත තත්ත්වය (Net Open Position) තෝරාගත් පදනම යටතේ සීමා කිරීම හරහා විදේශ විනිමය වෙළඳපොළෙහි සමපේක්ෂණ ගනුදෙනු වැළැක්වීමට කටයුතු කරන ලදි.
      • 2020 ජූනි 16 වැනි දින: රජයේ ද්‍රවශීලතා අවශ්‍යතා සපුරා ගැනීමට නිව් යෝර්ක් ෆෙඩරල් සංචිත බැංකුවෙන් එ.ජ. ඩොලර් කෝටි 100ක ප්‍රතිමිලදි ගැනීම් (Repo) පහසුකමක් සඳහා අනුමැතිය ගන්නා ලදි.

     

    1. මූල්‍ය අංශයේ ස්ථායීතාව පවත්වාගෙන යාමට ගත් ක්‍රියාමාර්ග

     

    • 2020 මාර්තු මස 27 වැනි දින: බැංකු ක්ෂේත්‍රයෙහි සුරක්ෂිත බව හා ස්ථාවරත්වය සඳහා බලපාන ප්‍රාග්ධන සහ ද්‍රවශීල අතිරික්තයන් හා අනෙකුත් සාධක සැලකිල්ලට ගනිමින්, කොවිඩ්-19 වසංගතය මගින් බලපෑමට ලක් වූ ව්‍යාපාර හා පුද්ගලයන් සඳහා සහන සැලසීම සඳහා අවශ්‍ය නම්‍යශීලිත්වය බලපත්‍රලාභී බැංකුවලට ලබා දීමේ අරමුණින් පහත සඳහන් සුවිශේෂි ක්‍රියාමාර්ග හඳුන්වා දෙන ලදි.
      • දේශීය වශයෙන් පද්ධතිමය වැදගත්කමක් සහිත බැංකු (D-SIBs) සහ එසේ නොවන බැංකු සඳහා, පිළිවෙළින්, පදනම් අංක 100 සහ 50 බැගින් තම ප්‍රාග්ධනය සුරැකීම සඳහා ඇති අතිරික්තයන් පහත දැමීමට අවස්ථාව සලසා දීම.
      • වෙනත් කිසිඳු සහනයක් සඳහා හිමිකම් නොලබන ගනුදෙනුකරුවන්ගෙන් මාර්තු මස තුළ දී අය වීමට නියමිත ණය හා අත්තිකාරම් වාරික සඳහා දින 60ක කල් දිගුවක් ලබා දීමට බලපත්‍රලාභී බැංකු වෙත අවසර දී ඇති අතර අදාළ දින 60 අවසන් වන තුරු එම ණය පහසුකම්, ගෙවීම පැහැර ඇති සේ නොසැලකිය යුතු ය.
      • කොවිඩ්-19 වසංගතය නිසා ගනුදෙනුකරුවන් මුහුණ පා ඇති ගැටලු හේතුවෙන් 2020.03.16 සිට 2020.06.30 දක්වා කාල සීමාව තුළ දී ණය ගිවිසුම් සහ ආපසු ගෙවීමේ කාල සීමා සඳහා කරනු ලබන සියලු වෙනස් කිරීම් ණය සහ අත්තිකාරම් වර්ගීකරණය සහ ණය හානිකරණය ගණනයේ දී ‘ප්‍රතිව්‍යුහගත’ ලෙස සැලකීම වෙනුවට ‘සංශෝධන’ ලෙස සැලකීමට බැංකු වෙත අවසර දීම.
      • යම් ගනුදෙනුකරුවකුගේ මුළු අක්‍රීය ණය පහසුකම් ප්‍රමාණය, ඔහු වෙත ලබා දී ඇති මුළු ණය පහසුකම් ප්‍රමාණයෙන් 30% ඉක්මවන විට එම ගනුදෙනුකරු වෙත ලබා දී ඇති මුළු ණය ප්‍රමාණය ම අක්‍රීය ගණයේ ලා සැලකීමට ඇති නියාමන අවශ්‍යතාවය ඉවත් කිරීම.
      • කිසියම් ණයක් විදේශ මුදලින් පියවා ගැනීමට ඇති හැකියාවක් නොමැති විටෙක, අවසාන විකල්පය වශයෙන්, බැංකු විසින් නිශ්චිත කොන්දේසි සපුරාලීම තහවුරු කිරීමට යටත්ව, එම ණය රුපියල්වලින් පියවා ගැනීමට බැංකු වෙත අවසර ලබා දී ඇත.
      • 2020 වසර අවසානය වන විට වැඩි කළ ප්‍රාග්ධන අවශ්‍යතාවයන් සපුරා ගත යුතුව තිබූ බැංකු හට එකී අවශ්‍යතා සපුරා ගැනීමේ අවසාන දිනය 2022 වසර අවසානය තෙක් දීර්ඝ කිරීම.
      • නියාමනයේ දී හඳුනා ගත් සැලකිය යුතු කරුණු නිවැරදි කිරීම සඳහා ලබා දී ඇති කාල සීමාවන් බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව හා සාකච්ඡා කර ඒවායේ, වැදගත්කම/බැරෑරුම්කම සලකා බලා අවශ්‍ය නම් නැවත සකස් කිරීමට අවසර දීම සහ නියාමනයේ දී හඳුනා ගත් කරුණු/සොයා ගැනීම් සඳහා නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගැනීමේ කාල සීමාව 2020 මැයි 30 දක්වා ඇති බැංකු සඳහා අමතර මාස 3ක කාලයක් ලබා දීම.
      • යළි දැනුම් දෙන තුරු, බලපත්‍රලාභී බැංකු විසින් බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කාලීනව සිදු කළ යුතු ව්‍යවස්ථාපිත වාර්තාකරණයන් සඳහා නියමිත කාල සීමාව සති දෙකකින් දීර්ඝ කිරීම සහ කාර්තුමය මූල්‍ය වාර්තා ප්‍රකාශනය සඳහා නියමිත කාල සීමාව මසකින් දීර්ඝ කිරීම.
    • 2020 මාර්තු 31 වැනි දින: බලපත්‍රලාභී මුදල් සමාගම් සහ විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම්වලට, කොවිඩ්-19 වසංගතය මගින් බලපෑමට ලක් වූ ව්‍යාපාර හා පුද්ගලයින් හට සහන සැලසීමට අවශ්‍ය නම්‍යශීලිත්වය ලබා දීමට පහත සඳහන් පරිදි සුවිශේෂි නියාමන ක්‍රියාමාර්ග රැසක් හඳුන්වා දී ඇත.
      • තැන්පතුකරුවන් විසින් හදිසියේ මුදල් ආපසු ගැනීම සහ ණය වාරික නිසි පරිදි ගෙවීමට ඇති අපහසුතාව සලකා බලා, වහාම ක්‍රියාත්මක වන පරිදි, මාස හයක කාලයක් සඳහා බලපත්‍රලාභී මුදල් සමාගම් විසින් පවත්වා ගෙන යා යුතු ද්‍රවශීල වත්කම් අවශ්‍යතාව අඩු කරන ලදී. එනම්, ස්ථාවර තැන්පතු සහ පැවරිය නොහැකි සහතික තැන්පතුවලට අදාළව එය 10% සිට 6% දක්වා ද, ඉතුරුම් තැන්පතුවලට අදාළව 15% සිට 10% දක්වා ද, ණය ගැනීම්වලට අදාළව 10% සිට 5% දක්වා ද, අනුමත රජයේ සුරැකුම්පත්වලට අදාළව 7.5% සිට 5% දක්වා ද වශයෙන් ව්‍යවස්ථාපිත ද්‍රවශීලතා අවශ්‍යතාව අඩු කරන ලදි. මීට සමගාමීව, විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් විසින් පවත්වාගෙන යා යුතු අවම ද්‍රවශීල වත්කම් අවශ්‍යතාව ද 10% සිට 5% දක්වා අඩු කරන ලදි.
      • අවම මූලික ප්‍රාග්ධන අවශ්‍යතාවය සපුරා ලීම සඳහා නියමිත අවසාන දිනය තව වසරකින් දීර්ඝ කිරීම: ඒ අනුව රුපියල් කෝටි 200 ප්‍රාග්ධන අවශ්‍යතා සපුරා ගැනීම 2020 ජනවාරි මස පළවෙනිදා සිට 2020 දෙසැම්බර් 31 දක්වා ද, රුපියල් කෝටි 250ක ප්‍රාග්ධන අවශ්‍යතාවය 2021 ජනවාරි මස පළවෙනි දින සිට 2021 දෙසැම්බර් මස 31 දින දක්වා ද දීර්ඝ කරන ලදි.
      • වත්කම් මත බර තැබූ ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතිකය ඉහළ දැමීම පිණිස 2020 ජූලි මස පළවන දින සිට සහ 2021 ජූලි මස පළවන දින සිට පැවති නියමය තවත් වසරකින්, එනම් 2021 ජූලි මස පළවෙනි දින සිට සහ 2022 ජූලි මස පළවෙනි දින දක්වා පිළිවෙළින් දීර්ඝ කරන ලදි.
      • බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කාලීනව සිදු කළ යුතු ව්‍යවස්ථාපිත වාර්තාකරණය සඳහා බලපත්‍රලාභී මුදල් සමාගම් සහ විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් වෙත අතිරේක සහන කාලයක් ලෙස ව්‍යාපාරික කටයුතු යථා තත්ත්වයට පත්ව සති දෙකක කාලයක් තුළ එම වාර්තා ඉදිරිපත් කිරීම සඳහා ඉඩ ලබාදෙන ලදි.
    • 2020 අප්‍රේල් මස 08 වැනි දින: බලපත්‍රලාභී ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල ද්‍රවශීලතා දුෂ්කරතා සපුරා ගැනීම සඳහා, 2020 අප්‍රේල් 08 දින අවම ද්‍රවශීලතා වත්කම් අනුපාතය පවත්වාගෙන යෑම පිළිබඳ 2016 අංක 4 දරන ක්ෂුද්‍ර මූල්‍ය පනත යටතේ ද්‍රවශීල වත්කම් පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවය පිළිබඳ විධානය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරන ලදි.
    • 2020 මැයි මස 05 වැනි දින: ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාතය ගණනය කිරීම සඳහා කොන්දේසිවලට යටත්ව පහත වත්කම් 2021 ජුනි 30 දක්වා ද්‍රවශීල වත්කම් සේ සැලකීමට බලපත්‍රලාභී බැංකු වෙත අවසර ලබා දී ඇත.
      • රජයට අයත් ව්‍යාපාර සඳහා ලබා දී ඇති ණය∶ (රජය මගින් ඇපකර ලබාදී ඇති වර්ෂයකට අඩු කාලයක් තුල කල් පිරෙන, මූල්‍ය වාර්තාකරණය සඳහා ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත අංක 9∶ මූල්‍ය උපකරණ, අනුව අදියර 1 යටතේ වර්ගීකෘත ණය, 10% ක අවදානම සඳහා ආන්තිකයක් (Hair Cut) සහිතව.)
      • ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වන විශේෂ තැන්පතු යෝජනා ක්‍රමයට අදාළව බැංකු වෙත ගෙවිය යුතු පොලී සහනාධාරය.
      • බැංකු විසින් වෙනත් බැංකු වෙත තබා ඇති ස්ථාවර තැන්පතු∶ (කල්පිරීමේ කාලය වර්ෂයකට වඩා වැඩි, එහෙත් වර්ෂ දෙක නොඉක්මවන තැන්පතු සඳහා
        20%ක අවදානම සඳහා ආන්තිකයක් සහ කල්පිරීමේ කාලය වර්ෂ දෙකකට වැඩි තැන්පතු සඳහා 30%ක අවදානම සඳහා ආන්තිකයක් සහිතව.)
      • තැන්පතු ඇප ලෙස තැබූ ණය∶ තැන්පතු වලින් 20%ක වටිනාකමක් දක්වා.
      • ගනුදෙනුකරුවන්ගේ ණය පියවීම සඳහා සේවක අර්ථසාධක අරමුදලින් ලැබිය යුතු මුදල්.
    • 2020 මැයි මස 05 වැනි දින: ද්‍රවශීලතා ආවරණ අනුපාතය සහ ශුද්ධ ස්ථායී අරමුදල් අනුපාතය සඳහා අවම අවශ්‍යතාවය, වැඩි දියුණු කරන ලද සුපරීක්ෂණය සහ නිරන්තර වාර්තාකරණයට යටත්ව, 2021 ජූනි 30 තෙක් 90% දක්වා අඩු කිරීම.
    • 2020 මැයි මස 06 වැනි දින: කොවිඩ්-19 නිසා බලපෑමට පත් පුද්ගලයන්, ස්වයං රැකියා සහ ව්‍යාපාර සඳහා සහන ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 2020 අංක 04, 05 සහ 06 දරන චක්‍රලේඛ, 2020 මාර්තු 27 වැනි දිනැති වැනි දින: අති විශේෂ නියාමන ක්‍රියාමාර්ග පිළිබඳ ලිපිය සහ බලපත්‍රලාභී බැංකු විසින් රන් භාණ්ඩ උකස් අත්තිකාරම් සඳහා අය කළ හැකි උපරිම පොලී අනුපාත සම්බන්ධ 2020 අංක 01 දරන මුදල් නීති පනත් විධානය ආශ්‍රයෙන් නිති අසන පැන සඳහා පිළිතුරු ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වෙබ් අඩවියේ පල කරන ලදි.
    • 2020 මැයි මස 13 වැනි දින: මෙකී සුවිශේෂි අවස්ථාවේ දී බැංකුවල ද්‍රවශීලතා මට්ටම් ශක්තිමත් කිරීමේ අරමුණ පෙරදැරිව, මුදල් මණ්ඩලය විසින් බලපත්‍රලාභී බැංකුවල පහත අභිමතානුසාරී ගෙවීම් (Discretionary Payments) 2020 දෙසැම්බර් 31 දක්වා සීමා කිරීමට තීරණය කරන ලදි.
      • දැනටමත් ප්‍රකාශ කර නොමැති 2019 වසර සඳහා ලාභාංශ හා 2020 වසර සඳහා අතුරු ලාභාංශ ප්‍රකාශයට පත් කිරීම.
      • දැනටමත් ප්‍රකාශ කර නොමැති 2019 හා 2020 වසර සඳහා ලාභාංශ මෙරටින් බැහැර කිරීම.
      • තම කොටස් නැවත මිල දී ගැනීම.
      • කළමනාකරණ දීමනා හෝ අධ්‍යක්ෂ මණ්ඩල සඳහා ගෙවීම් ඉහළ දැමීම.
    • මෙයට අමතරව, ඉහත සඳහන් කාල සීමාව තුළ බලපත්‍රලාභී බැංකු විසින් සිදු කරනු ලබන ප්‍රචාරණය, වෙළඳ ප්‍රවර්ධනය, අනුග්‍රාහකත්ව, ප්‍රවාහන වියදම් හා පුහුණුවීම් වැනි අත්‍යාවශ්‍ය නොවන වියදම් සහ ප්‍රාග්ධන වියදම් සිදු කිරීමේ දී හැකි තාක් දුරට විචක්ෂණශීලී වීම හෝ වැළකී සිටීමට අවශ්‍ය වේ.
    • 2020 ජුනි මස 12 වැනි දින: මීට අමතරව, කොවිඩ්-19 වසංගතයෙන් පීඩාවට පත් වූ ව්‍යාපාරවලට මෙන් ම තනි පුද්ගලයින්ට සහාය වීමට ක්‍රියාත්මක කරන ලද ණය සහන යෝජනාවලීන් සඳහා අවශ්‍ය ද්‍රවශීල තත්ත්වය වැඩි දියුණු කිරීමේ අදහසින් සහ බලපත්‍රලාභී මුදල් සමාගම්වල අනෙකුත් හදිසි අරමුදල් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා රුපියල් කෝටි 2,000ක වටිනාකමකින් යුතු ද්‍රවශීලතා පහසුකමක් ලබා දීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2020 අප්‍රේල් 15 වෙනි දින තීරණය කරන ලදි. මෙම සහනය ලබා දෙන්නේ ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ හා ද්‍රවශීලතා ආධාරක වැඩසටහන යටතේ ණය සහන ලබා දීම නිසා අහිමි වන පොලී ආදායම හේතුවෙන් ඇති විය හැකි උපරිම අලාභය පදනම් කර ගෙන සමානුපාතික පදනමින් ය.
    • 2020 ජුනි මස 19 වැනි දින: බැංකුව වෙත ලැබෙන නව විදේශ මුදල් ප්‍රවාහ භාවිත කිරීමෙන් මිල දී ගනු ලබන ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සඳහා අදාළ නොවන පරිදි ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර මිල දී ගැනීමට 2020 මාර්තු 19 දින පැනවූ සීමා මාස 3ක් සඳහා නැවත දීර්ඝ කරන ලදි.

     

    1. ව්‍යවහාර මුදල් මෙහෙයුම් කටයුතු හා ගෙවීම් සහ පියවීම් පද්ධති බාධාවකින් තොර ව පවත්වාගෙන යෑම සඳහා ගන්නා ලද ක්‍රියාමාර්ග

     

    • බලපත්‍රලාභී වාණිජ බැංකු සහ අනෙකුත් මූල්‍ය ආයතනවල සහභාගීත්වය ඇතිව ගෙවීම් සහ පියවීම් කටයුතු බාධාවකින් තොරව පවත්වා ගෙන යෑම සඳහා ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම ක්‍රියාවට නංවන ලදි.
    • ජාත්‍යන්තර ගනුදෙනු සඳහා අවශ්‍ය විදේශ විනිමය අවශ්‍යතා සපුරා ගැනීම පිණිස ද්‍රවශීලතා කළමනාකරණ කටයුතු අඛණ්ඩව පවත්වා ගැනුණි.
    • 2020 මාර්තු 17 වැනි දින: රට වසා දැමු කාලය තුළ මහජනතාවගේ මුදල් ඉල්ලුම සපුරාලීමට හැකි වන පරිදි බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත පැවති හදිසි මුදල් තැන්පතු ආපසු ගැනීමේ සියලු ම සීමාවන් (ප්‍රමාණය හා වාර ගණන) 2020 මැයි 21 වන දින දක්වා ලිහිල් කරන ලදි.
    • ගමනාගමනය සඳහා සීමා පනවා තිබූ කාලය තුළ දී ඉලෙක්ට්‍රොනික බැංකු කටයුතු සඳහා පැන නැගුණු අවශ්‍යතා සපුරා ගැනීම පිණිස ගනුදෙනුකරුවන් වෙත පහත සඳහන් පහසුකම් සපයන ලදි.
      • 2020 මාර්තු 20 වැනි දින: මූල්‍ය ආයතන වෙතින් ඉලෙක්ට්‍රොනික බැංකු පහසුකම් ලබා ගැනීම සඳහා ගනුදෙනුකරුවන් ලියාපදිංචි වීමේ දී අය කෙරෙන ගාස්තු සහ අනෙකුත් සේවා ගාස්තු අය නොකිරීමටත්, ගනුදෙනුකරු බැංකු ශාඛා වෙත නොපැමිණ ලියාපදිංචි වීමට අවශ්‍ය පහසුකම් සැලසීමටත් උපදෙස් නිකුත් කරන ලදි. මෙලෙස ලියාපදිංචි වූවන් පසුව හමු වී අනන්‍යතාව සහතික කරන මෙන් මූල්‍ය ආයතන වලට උපදෙස් ලබා දෙන ලදි.
      • 2020 මාර්තු 26 වැනි දින: දුරකථන හා වෙනත් සන්නිවේදන ක්‍රම මගින් ගනුදෙනුකරු හඳුනාගෙන ඉලෙක්ට්‍රොනික මුදල් පසුම්බි පහසුකම් සඳහා ලියාපදිංචි වීමේ අවසරය මූල්‍ය ආයතන වෙත ලබා දෙන ලදි.
    • 2020 මාර්තු 30 වැනි දින: විද්‍යුත් මුදල් ගනුදෙනුවලට පහසුවක් වීම සඳහා විද්‍යුත් මුදල් පසුම්බිවල සීමාව රුපියල් 10,000 සිට රුපියල් 25,000 දක්වා වැඩි කිරීමට තීරණය විය.
    • 2020 අප්‍රේල් 01 වැනි දින: ලංකා ක්ලියර් සමාගමෙන් සපයා ඇති JustPay පහසුකම මගින් ජංගම දුරකථන යෙදුම් භාවිත කර සිදු කෙරෙන ගනුදෙනුවල සීමාව රුපියල් 10,000 සිට රුපියල් 25,000 දක්වා වැඩි කෙරිණි.
    • මුදල් ලබා ගැනීමේ පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා පහත සඳහන් අනුමැතීන් දෙන ලදි.
      • 2020 අප්‍රේල් 02 වැනි දින: පිට රටවලින් එවන මුදල් නිවසට ම ගෙන ගොස් දීමේ සේවා ආරම්භ කිරීම සඳහා එම සේවා සපයන්නෙකුට අවසර ලබා දෙන ලදි.
      • 2020 අප්‍රේල් 04 වැනි දින: ස්වයංක්‍රීය මුදල් ආපසු ගැනීමේ යන්ත්‍ර (ATM) වෙත ගොස් මුදල් ලබා ගැනීමේ අපහසුතාව සලකා නිවසටම ගෙන ගොස් මුදල් ලබා දීමට වාණිජ බැංකුවකට අවසර ලබා දෙන ලදි.
    • 2020 අප්‍රේල් 06 වැනි දින: බැංකුවල ස්වයංක්‍රීය මුදල් ආපසු ගැනීමේ යන්ත්‍ර (ATM) මගින් මුදල් ලබා ගැනීමේ දී ගෙවිය යුතු අමතර ගාස්තුවලින් ‍ජ්‍යේෂ්ඨ පුරවැසියන් නිදහස් කිරීම සඳහා රජයෙන් කරන ලද ඉල්ලීම අනුව මූල්‍ය ආයතන වෙත උපදෙස් මාලාවක් නිකුත් කරන ලදි.
    • 2020 අප්‍රේල් 10 වැනි දින: මෙම කාලය තුළ අන්තර්ජාලය හරහා කෙරෙන මිල දී ගැනීම් වැඩි කිරීමට පහසුකම් සලසනු වස් විද්‍යුත් මුදල් පද්ධතිවල වෙළෙඳුන් සඳහා තිබූ සීමාවන් ලිහිල් කෙරිණි.
    • 2020 මැයි 12 වැනි දින: උද්ගත වී තිබුණු තත්ත්වය සැලකිල්ලට ගෙන මුදල් නෝට්ටු තැන්පතු සඳහා බලපත්‍රලාභී වාණිජ බැංකුවලින් අය කෙරෙන සේවා ගාස්තු 2020 අප්‍රේල් 01 වන දා සිට 2020 ජූනි 30 වන දා දක්වා මාස තුනක කාලයක් සඳහා අය නොකිරීමට තීරණය කෙරිණි.
    • 2020 මැයි 15 වැනි දින: රුපියල් 500,000ට වඩා අඩු වටිනාකම් සහිත චෙක්පත්වල වලංගු කාලය දීර්ඝ කරන ලදි.
    • 2020 ජූනි 04 වැනි දින: ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ‍ ගෙවීමේ චෙක්පත්වල වලංගු කාලය 2020 ජූනි 30 දක්වා දීර්ඝ කරන ලදි.
    • 2020 ජූනි 08 වැනි දින: ‘ලංකා පේ’ (LankaPay) මංගත ගෙවීම් වේදිකාව හරහා රජයේ සහ අනෙකුත් ආයතන වෙත කරන ගෙවීම්වල උපරිම අගය වැඩි කිරීම සඳහා වන ගෙවීම් සහ පියවීම් චක්‍රලේඛය නිකුත් කරන ලදි.
    • මීට අමතරව, ගමනාගමනය සිමා කොට තිබූ කාලය තුළ ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පහසු කරවීමේ අරමුණින් ජංගම දුරකථන භාවිතයෙන් කෙරෙන ගෙවීම් සඳහා අවශ්‍ය අනුමැතිය යම් සීමාවන්ට යටත්ව ලබා දෙන ලදි.

     

    1. රාජ්‍ය ණය කළමනාකරණය සම්බන්ධව ගත් ක්‍රියාමාර්ග සහ ණය සේවාකරණ ගෙවීම් අඛණ්ඩව සිදු කිරීම

     

    • ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රාජ්‍ය ණය කළමනාකරණ සහ ණය සේවාකරණ ගෙවීම් සිදු කිරීම කොවිඩ්-19 වසංගතය හමුවේ සිදු වූ විවිධ බාධක මැද අඛණ්ඩව ඉදිරියට ගෙන යන ලදි. ඒ අනුව, භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම්කර සහ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත් කිරීම අඛණ්ඩව ම සිදු කළ අතර, එමගින් 2020 වසරේ මේ දක්වා රුපියල් කෝටි 100,000ක් ඉක්මවූ අරමුදල් රැස් කර රජයට ලබා දීමට ශ්‍රී ලංකා මහ බැංකුවට හැකියාව ලැබුණි. 2020 වසරේ ජූනි මාසයේ මැද වන තෙක් වූ මාස 3ක කාල සීමාව තුළ දී රාජ්‍ය සුරැකුම්පත් වෙන්දේසි මගින් සිදු කරනු ලැබූ මූල්‍යනය කිරීම් රුපියල් කෝටි 60,000ක් විය. තව ද, රජයේ අරමුදල් අවශ්‍යතාව නිසි ලෙස සපුරාලීම සඳහා පැවති ක්‍රමවේදය වූ එක් මාසයක් තුළ භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි එකක් (01) පැවැත්වීම තව දුරටත් පුළුල් කරමින් මැයි සහ ජූනි මාස තුළ දී භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි දෙක (2)  බැගින් පැවැත්වීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගන්නා ලදි.
    • 2020 මැයි මස 13 වැනි දින: පොත් අගයට නිකුත් කළ භාණ්ඩාගාර බැඳුම්කර රුපියල් කෝටි 10,000 මගින් රාජ්‍ය බැංකු තුළින් රජය ලබා ගත් බැංකු අයිරාවේ ශේෂය අඩු කරලීම ඇතුළු අනෙකුත් රජයේ මුදල් ප්‍රවාහ කළමනාකරණ උපකරණවල ගැලපීමක් සිදු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව දායකත්වය දක්වන ලදි.
    • සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරලීම සඳහා කාර්යාල වසා තැබූ කාල සීමාවේ දී පවා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ණය සේවාකර‍ණ ගෙවීම් අඛණ්ඩව සිදු කළ අතර ඒ යටතේ රුපියල් කෝටි 150,000කට අධික ගෙවීම් 2020 වසරේ මේ දක්වා සිදු කිරීම තුළින් ශ්‍රී ලංකාවේ ණය සේවාකරණ ගෙවීම් අඛණ්ඩව සිදු කිරීමේ වාර්තාව තව දුරටත් පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා මහ බැංකුව දායකත්වය සැපයී ය.
    • සාමාන්‍යයෙන් රජයේ ණය සේවාකරණ ගෙවීම්වල යම් කොටසක් සිදු කිරීම සඳහා රජයේ විදේශ සංචිත භාවිතා කරනු ලබයි. පෙර නොවූ විරූ ලෙස විදේශ මූල්‍ය වෙළඳපොළ තත්ත්වයන් අයහපත් වීම හේතුවෙන් රජයට අවශ්‍ය පරිදි විදේශ විනිමය ද්‍රවශීලතාව රඳවා ගැනීම අපහසු වීම හේතුවෙන්, 2020 අප්‍රේල් මස 08 වැනි දින සිට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අඛණ්ඩව විදේශ විනිමය ද්‍රවශීලතාව රජයට ලබා දීම සඳහා තම විදේශ සංචිත  භාවිතා කරන ලදි. මෙලෙස රජයේ විදේශ ණය සේවාකරණ ගෙවීම් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ සංචිත යොදවා ගැනීම සිදු කළ අතර ඒ යටතේ 2020 අප්‍රේල් මස 08 වනි දින සිට ජූනි 22 වැනි දින දක්වා වූ කාලය තුළ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එ.ජ. ඩොලර් කෝටි 100.7ක් තම විදේශ සංචිත මුදා හැරීම තුළින් විදේශ ණය සේවාකරණය සිදු කරනු ලැබී ය.