වැලිගම මැරියට් හෝටලය ඩොලර් මිලියන 22 කට සිංගප්පූරු සමාගමකට විකුණයි

    April, 16, 2019

    සිංගප්පූරුවේ Hotel Properties’ (HPL) හි පූර්ණ අනුබද්ධ සමාගමක් වන HPL Properties (West Asia) (HPLPWA) විසින් මෙරට තරු පහේ හෝටලයක් වන Weligama Bay Marriott Resort and Spa හි පූර්ණ කොටස් හිමිකාරීත්වය පසුගිය දා අත්පත් කරගන්නා ලදී. ඒ ඩොලර් මිලියන 22.6 ක මිලකටය.

    Weligama Bay Marriott Resort and Spa හි බහුතර කොටස් අයිතිය, මෙරට ප්‍රමුඛතම දේපළ සමාගමක් වූ East West Properties PLC සතු වූ අතර පසුගිය අප්‍රේල් 12 වන දින එම සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, එහි අනුබද්ධ සමාගමක් වූ Weligama Hotel Properties ලිමිටඩ් සමාගමේ කොටස් හිමිකාරීත්වය අලෙවි කිරීමට ගිවිසුමකට එළඹි බවයි. Weligama Bay Marriott Resort and Spa හි 71.82% ක හෙවත් කොටස් මිලියන 291 ක හිමිකාරීත්වය පැවතියේ Weligama Hotel Properties ලිමිටඩ් සතුවය. මෙම ගනුදෙනුව සිදුව ඇති මිල ඇමරිකානු ඩොලර් 15,934,952/- කි.

    Weligama Hotel Properties Ltd හි East West Properties PLC සතු කොටස් අයිතිය විකුණා දැමීම සඳහා මුල් වරට පසුගිය 2018 වසරේ මාර්තු මාසයේ දී ගිවිසුමකට එළඹියත් එහිදී ගැණුම්කාර පාර්ශවය වූ සිංගප්පූරුවේ HPL Hotels සමාගම Weligama Hotel Properties Ltd හි 100% ක කොටස් හිමිකාරීත්වයම ඉල්ලා සිටි හෙයින් මෙම ගනුදෙනුවේ ප්‍රමාදයක් සිදුවිය.

    මෙහිදී East West Properties PLC කියා සිටියේ Weligama Hotel Properties Ltd කොටස් අයිතියෙන් 11.11% ක් සේවක අර්ථසාධක අරමුදල (EPF) සතුව ඇති බවත්, ඔවුන් ඒ පිළිබඳ පුළුල් තක්සේරුවකින් අනතුරුව අදාළ කොටස් සම්බන්ධයෙන් පියවර ගැනීමට තීරණය කර ඇති නිසා අදාළ ගනුදෙනුව ප්‍රමාද වී ඇති බවයි.

    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, සේවක අර්ථසාධක අරමුදල සිය සාමාජිකයන්ට උපරිම ප්‍රතිලාභයක් ලබා දීම සඳහා එකී ආයෝජනයෙන් ප්‍රමාණවත් ප්‍රතිලාභයක් අරමුදලට ලැබීම සහතික කරනු පිණිස, වැලිගම හොටේල් ප්‍රොපර්ටීස් ලිමිටඩ් හි සිදුකර ඇති ආයෝජනයෙන් ඉවත් වීමට පෙර, එහි වටිනාකම තීරණය කිරීම සඳහා පුළුල් අධ්‍යයනයකින් ලබාගන්නා තක්සේරුවක් අත්‍යවශ්‍ය බවයි.

    East West Properties PLC හි ප්‍රමුඛ කොටස්කරුවන් වන්නේ මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික නහීල් විජේසූරිය මහතා සහ ඔහුගේ දූ දරුවන් තිදෙනායි. මෙහිදී 2018 දෙසැම්බර් 31 දින වන විට නහීල් විජේසූරිය (16.29%ක්), අනිකා විජේසූරිය (21.55%ක්), වජිර විජේසූරිය (19.07%ක්) හා විජිත විජේසූරිය (11.02%ක්) East West Properties PLC ප්‍රමුඛ කොටස්කරුවන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම පසුවූවන් විය.