විදේශ ප්‍රේෂණ පහසු කිරීම සඳහා “SL-Remit”

    October, 8, 2021

    විදේශ ප්‍රේෂණ ප්‍රවාහ වැඩි කිරීම සඳහා මෙන්ම අවිධිමත් ක්‍රමවේද අධෛර්යමත් කිරීමේ අවශ්‍යතාවය හඳුනාගත් ශ්‍රී ලංකා මහ බැංකුව, නව ප්‍රේෂණ ක්‍රමවේද අධ්‍යනය කරමින් ශ්‍රී ලංකාවට අඩු පිරිවැයක් සහිතව විදේශ ප්‍රේෂණ එවීමේ ක්‍රමවේද පිළිබඳ නිර්දේශ සහ යෝජනා ඉදිරිපත් කිරීමට ක්‍රියාකාරී කමිටුවක් පත් කරනු ලැබීය.

    මෙම ක්‍රියාකාරී කමිටුව ලංකා බැංකුව, මහජන බැංකුව, සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, හොංකොං සහ ෂැංහයි බැංකුව, කාගිල්ස් බැංකුව, ඩයලොග් ආසියාටා, මොබිටෙල් (පුද්ගලික) සමාගම සහ ශ්‍රී ලංකා මහ බැංකුවෙහි පළපුරුදු වෘත්තිකයන්ගෙන් සමන්විත විය.

    ක්‍රියාකාරී කමිටුව විසින් ශ්‍රී ලංකාවට වැඩි ප්‍රේෂණ ප්‍රමාණයක් ආකර්ෂණය කර ගැනීම සඳහා “SL-Remit” නමින් ජාතික ප්‍රේෂණ ජංගම යෙදුමක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇති අතර මෙහි ස්වයං පරිශීලක ලියාපදිංචිය, ගෝලීය මුදල් හුවමාරු ක්‍රියාකරුවන්ට හා ගෝලීය මූල්‍ය තාක්ෂණ සේවා සැපයුම්කරුවන්ට සම්බන්ධ වී ඕනෑම රටක සිට මුදල් එවීමට පහසුකම් සැලසීම, ශ්‍රී ලංකාව තුළ ඕනෑම බැංකු ගිණුමකට/ජංගම පසුම්බියකට ක්ෂණිකව අරමුදල් මාරු කිරීම වැනි විශේෂාංග ඇතුළත්ව තිබේ. මෙයට අමතරව ආකර්ශනීය විදේශ විනිමය අනුපාත ඉදිරිපත් කිරීම, අඩු ගනුදෙනු ගාස්තු සහිත වීම සහ සෘජු බිල්පත් ගෙවීමේ පහසුකම වැනි වටිනාකම් එකතු කළ සේවාවන් රැසක්ද මෙම යෙදුමට ඇතුළත් වේ.

    ශ්‍රී ලංකා මහ බැංකුව, මෙම “SL-Remit” ජංගම යෙදුම මුදල් අමාත්‍යංශය, විදේශ කටයුතු අමාත්‍යංශය, ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමය, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ලංකා ක්ලියර් (පුද්ගලික) සමාගම වැනි පාර්ශවකරුවන්ගේ සහාය ඇතිව ක්‍රියාත්මක කරනු ලබයි.