ශ්‍රීලංකන් කාගෝ ISO 9001:2015 තත්ත්ව කළමනාකරණ සහතිකකරණය හිමිකරගනී

    July, 15, 2025

    ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා අංශය වන ශ්‍රීලංකන් කාගෝ (SriLankan Cargo), ISO 9001:2015 තත්ත්ව කළමනාකරණ පද්ධති සහතිකකරණය හිමිකර ගැනීමට පසුගියදා සමත් විය. ඒ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ සිදුකරන ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා බිම් මෙහෙයුම් කටයුතු (Ground Handling) වෙනුවෙනි. මෙම සහතිකකරණය, සිය ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා මෙහෙයුම් ක්‍රියාවලියේ සෑම අදියරක්ම විශිෂ්ට ලෙස පවත්වාගෙන යාම සඳහා ශ්‍රීලංකන් කාගෝ දරන උත්සාහයට මනා සාක්ෂියක් ලෙස හැඳින්විය හැක.

    ISO 9001:2015 තත්ත්ව කළමනාකරණ සහතිකකරණය පිරිනමනු ලබන්නේ ජාත්‍යන්තරව පිළිගත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසිනි. ශ්‍රීලංකන් කාගෝ සේවාවේ පර්යන්ත මෙහෙයුම්, ආනයන හා අපනයන හැසිරවීම්, ගබඩාකරණ කටයුතු සහ ලිපිලේඛන ක්‍රියාවලි යනාදී සියල්ල, තත්වය, අනුකූලතාව සහ කාර්යක්ෂමතාව සම්බන්ධ ඉහළම ප්‍රමිතීන්ට අනුකූලව වන බව මෙම සහතිකකරණය මගින් තහවුරු වේ.

    “ISO 9001:2015 තත්ත්ව කළමනාකරණ හිමි වීම යනු අප ජාත්‍යන්තර ප්‍රමිතීන්ට  අනුකූලව බිම් මෙහෙයුම් කටයුතු සිදුකරන බව තහවුරු කරන මනා සාක්ෂියක්. මෙමගින් අපගේ ගුවන් භාණ්ඩ හා බිම් මෙහෙයුම් කාර්ය මණ්ඩල ඉටුකරන විශිෂ්ට සේවය මෙන්ම, ක්‍රියාවලි වැඩිදියුණු කිරීම, සේවක සේවිකාවන් පුහුණු කිරීම සහ තත්ත්ව සහතිකකරණය සඳහා අප ගන්නා උත්සාහය මැනැවින් පිළිබිඹු වනවා.” ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා ප්‍රධානී චමින්ද පෙරේරා මහතා පැවසීය.

    ISO 9001:2015 යනු ජාත්‍යන්තර වශයෙන් පිළිගත් තත්ත්ව සහතිකකරණයකි. එය පිරිනැමීමේදී පාරිභෝගික තෘප්තිය, නායකත්වය, අවදානම් පදනම් කරගත් චින්තනය සහ ක්‍රියාවලි අඛණ්ඩව වැඩිදියුණු වීම යන තත්ත්ව කළමනාකරණ මූලධර්ම සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කෙරේ. මෙම සහතිකකරණය අපනයන භාරගැනීම හා ආනයන බෙදාහැරීම, අන්තර්-හුවමාරු භාණ්ඩ පිරිසැකසුම් කටයුතු (Transit Cargo Processing), විශේෂ භාණ්ඩ (සජීවී සතුන්, ඉක්මනින් හානි වන භාණ්ඩ, ඉහළ වටිනාකමක් සහිත භාණ්ඩ සහ අනතුරුදායක භාණ්ඩ වැනි) හැසිරවීම සහ ලියකියවිලි පාලනය දක්වා, ශ්‍රීලංකන් කාගෝ මගින් සිදුකරනු ලබන සමස්ත ක්‍රියාකාරකම් පරාසය සඳහා අදාළ වේ.

    තම සේවාවන් අඛණ්ඩව වැඩිදියුණු කරන අතරම ජාත්‍යන්තරයේ විශ්වාසය දිනාගනිමින්, ශ්‍රී ලංකාව කලාපයේ කාර්ය සම්පාදන කේන්ද්‍රයක් බවට පත්කිරීම ශ්‍රීලංකන් කාගෝ  සේවාවේ ක්‍රමෝපායික ඉලක්කය වී තිබේ. මෙම ඉලක්ක ළඟා කරගැනීම සඳහා දරන නිරන්තර උත්සාහය ශ්‍රීලංකන් කාගෝ වෙත ISO 9001:2015 තත්ත්ව සහතිකරණය හිමි වීම සඳහා බලපෑ ප්‍රධානතම හේතුවක් විය.

    ශ්‍රීලංකන් කාගෝ මේ වන විට යුරෝපය, මැදපෙරදිග, දකුණු ආසියාව, අග්නිදිග ආසියාව, ඈත පෙරදිග සහ ඕස්ට්‍රේලියාව ඇතුළු කලාප රාශියක් වෙත ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවාවන් සපයයි. රටවල් 21 ක ගමනාන්ත 30 කට වැඩි සංඛ්‍යාවක් ආවරණය කරන සෘජු සේවා ජාලයක් සහ ලොව තවත් නගර සිය ගණනක් වෙත විහිදෙන හවුල්කාරීත්ව සේවා ජාලයක්ද එය සතු ය. තම හවුල්කරුවන් සමග එක් වී ගොඩබිම් ප්‍රවාහන පහසුකම්ද පිරිනමමින්, ශ්‍රීලංකන් ගුවන් සේවාවේ සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක වන රටවලින් ඔබ්බට පවා භාණ්ඩ ප්‍රවාහන සේවාවන් සැපයීමට ශ්‍රීලංකන් කාගෝ සමත් වී ඇත. එමෙන්ම විශිෂ්ට තලයේ ගබඩා පහසුකම් සහ අතිනවීන භාණ්ඩ හැසිරවීමේ යන්ත්‍රෝපකරණද සමගින් ශ්‍රීලංකන් කාගෝ, ගුවන් භාණ්ඩ ප්‍රවාහනයට අදාළ සියලුම සේවාවන් එකම ස්ථානයකින් ලබාදෙන සේවා සම්පාදකයෙකු ලෙස ඇගයීමට ලක් වී තිබේ. වැඩිදුර තොරතුරු සඳහා www.srilankancargo.com වෙත පිවිසෙන්න.