June, 4, 2025
ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා අලුතින් ලබාගත් Airbus A330-200 Wde-body ගුවන් යානය අද උදෑසන ප්‍රංශයේ පැරිස් නුවර සිට මෙරටට ළඟා විය. 4R-ALT ලියාපදිංචි අංකය දරන මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළට ගොඩබැස්වීමට පෙර කොළඹ සහ කටුනායක ප්‍රදේශ හරහා පහතින් පියාසර කළේය. මෙම ගුවන් යානයත් සමග ශ්‍රීලංකන් ගුවන් සේවය සතු ගුවන් යානා සංඛ්‍යාව 23 ක් බවට පත් වී ඇත. මේ වන විට ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා ඇති ඉල්ලුම ඉහළ යමින් පවතින අතර, එම ඉල්ලුමට සාපේක්ෂව තම සේවාවන් පුළුල් කිරීමට එම ගුවන් සේවය සැලසුම් කර තිබේ. ගුවන් යානා සංඛ්‍යාව වැඩි වීම මගින් විශේෂයෙන්ම දිගු දුර ගුවන් ගමන් ඇතුළුව සමස්තයක් ලෙස ශ්‍රීලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් කටයුතු වඩාත් කාර්යක්ෂම හා පහසු වනු ඇත.
“මෙය ශ්‍රීලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් මෙන්ම ගුවන් යානා එකතුව සම්බන්ධ දීර්ඝකාලීන ක්‍රමෝපායෙහි නව පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කරනවා. මෙමගින් අපගේ සේවාවන් සඳහා ක්‍රමයෙන් වර්ධනය වන ඉල්ලුම සපුරාලීමට මෙන්ම සංචාරක කර්මාන්තයේ ජාතික මට්ටමේ ඉලක්ක ළඟා කරගැනීමට වැඩි දායකත්වයක් ලබාදීමට අපට හැකි වේවි. ශ්‍රී ලංකාව ඉහළම තලයේ සංචාරක ගමනාන්තයක් ලෙස ජනප්‍රිය වෙමින් පවතින මේ මොහොතේ, ජාත්‍යන්තර සංචාරකයන් ශ්‍රී ලංකාව සමග සම්බන්ධ කිරීම සඳහා මෙම ගුවන් යානය මගින් කැපීපෙනෙන කාර්යභාරයක් ඉටු වේවි.” ශ්‍රීලංකන් ගුවන් සේවයේ සභාපති සරත් ගනේගොඩ මහතා පැවසීය.
“Wide-body ගුවන් යානයක් ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් යානා එකතුවට අලුතින් එක්වන්නේ වසර 7 කට පසුවයි. මෙමගින් අපට දැනට පියාසර කරන රටවල් වෙත ක්‍රියාත්මක වන සේවාවන් පුළුල් කිරීමටත්, වඩාත් හොඳ සම්බන්ධතාවක් සමග නව සෘජු ගුවන් ගමන් වාර හඳුන්වා දීමටත්, අපගේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන හැකියාවන් වැඩිදියුණු කරගනිමින් ශ්‍රී ලංකාවේ අපනයන කර්මාන්තයට අත්වැලක් වීමටත් හැකි වේවි. මෙම ගුවන් යානය වර්තමාන ගුවන් මගීන් අපේක්ෂා කරන නවීන පහසුකම් රැසකින් සමන්විතයි. එමගින් ඔවුන්ට වඩාත් සුවපහසු ගුවන් ගමන් අත්දැකීමක් ලබාදීමට අපට හැකියාව ලැබෙනවා.” ශ්‍රීලංකන් ගුවන් සේවයේ වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරී සහ සමූහ ප්‍රධාන මූල්‍ය නිලධාරී යසන්ත දිසානායක මහතා පැවසීය.
“මෙය අපගේ ගුවන් යානා එකතුව ශක්තිමත් කිරීමේ උත්සාහයක එක් පියවරක්. ඉදිරියේදී තව තවත් Wide-body ගුවන් යානා අපගේ ගුවන් යානා එකතුවට එක් වීමට නියමිතයි. මෙම ගුවන් යානයේ මගී ආසන සියල්ලටම රැහැන් රහිත විනෝදාස්වාද පහසුකම් සමග USB charging ports ලබා දී තිබෙනවා. මෙය මගීන්ට වැඩි පහසුවක් ගෙනෙන සාධකයක් වේවි. Rolls-Royce Trent 700 එන්ජින් දෙකකින් බලගැන්වෙන මෙම ගුවන් යානය Business Class ආසන 18 කින් සහ Economy Class ආසන 242 කින් සමන්විතයි. මෙය දිගු දුර ගමන් සහ කෙටි දුර ගමන් යන දෙවර්ගයටම අයත් ගුවන් ගමන් සඳහා යෙදවීමට අප බලාපොරොත්තු වනවා. නව ගුවන් යානයත් සමග දැන් ශ්‍රීලංකන් ගුවන් සේවය සතු Wide-body ගුවන් යානා සංඛ්‍යාව 10 ක් බවට පත් වී තිබෙනවා. ඊට අමතරව Narrow-body ගුවන් යානා 13 ක්ද අප සතුයි.” ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රධාන තාක්ෂණ නිලධාරී කපිතාන් පැට්රික් ප්‍රනාන්දු මහතා පැවසීය.




Video Story