ශ්‍රීලංකන් ගුවන් සේවය  40 වන සංවත්සරය අභිමානයෙන් සමරයි

    September, 11, 2019

    ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගම අභිමානවත් 40 වෙනි වසරට පා තැබීම සැමරීමේ විශේෂ උත්සවයක් පසුගියදා කටුනායක ගුවන් සේවා මූලාස්ථානයේ දී පැවැත්විණි. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා සහභාගි විය. එම අවස්ථාව සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති ජී.එස් විතානගේ මහතා සහ  ප්‍රධාන විධායක නිලධාරී විපුල ගුණතිලක මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් එක්ව සිටියහ.

    මෙහිදී අදහස් දක්වමින් ගරු රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රීලංකන් ගුවන් සේවය වසර 40 ක සේවා කාලයක් සනිටුහන් කිරීම සැමටම ආඩම්බර වීමට අවස්ථාවක් වන බවයි. තවද  අපගේ ගුවන් ගමන් ඉතිහාසය වසර 70 කට වඩා ඈතට දිව යන බව ද ඒ මහතා සිහිපත් කළේය. එසේම ශ්‍රී ලංකාව ලොවට ගෙන යාමේ මෙහෙවර දිගටම කරගෙන යාමට ජාතික ගුවන් සේවයට හැකියාව ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවද ඒ මහතා සඳහන් කළේය.

    මෙහි දී අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති ජී.එස් විතානගේ මහතා සඳහන් කළේ ජාතික ගුවන් සේවය ලෙස ශ්‍රීලංකන් ගුවන් සේවය  ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් ලබාදෙන බවයි.තවද රටේ සංචාරක කර්මාන්තයේ දියුණුවටත් විශාල ශක්තියක් ලබාදෙන බව ද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්හ.

    මෙම වසරේ දී වසර 40 ක සේවා කාලයක් සම්පූර්ණ කළ කාර්ය මණ්ඩල සාමාජිකයින් 18 දෙනෙකු වෙනුවෙන් උපහාර පිදීම ද මෙහිදී සිදුවිය.  ඔවුන්ගේ කැපවීම අගය කරමින් ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී විපුල ගුණතිලක මහතා මෙසේ පැවසීය. “අවුරුදු 40 ක් පැරණි අපගේ මේ ගමනේදී අප වෙනුවෙන් පෙනී සිටි අපට සහාය දුන් අපගේ ගනුදෙනුකරුවන්ට, කාර්ය මණ්ඩලයට සහ අනෙකුත් සියලුම පාර්ශවකරුවන්ට මම ස්තූතිවන්ත වෙමි. ”