ශ්‍රී ලංකාව ඩොලර් බිලියනයක ලොකු ණයක් ගෙවයි

    July, 27, 2021

    අද (27) දිනයේ දී කල්පිරීමට නියමිත ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයක් (ISB)  සඳහා ආපසු ගෙවීම සිදුකරනු ලබන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

    අද (2021 ජුලි 27) දින ISB ආපසු ගෙවීමත් සමඟ 2021 සඳහා රජයේ විදේශ ණය සේවා බැඳීම් බොහොමයක් ආපසු ගෙවා අවසන් වන බවත් වර්ෂයේ ඉතිරි කාලය තුළ රට තුළ සංචිත නැවත පූරණය කිරීමට ඉඩ සැලසීම සැලකිල්ලට ගත යුතු කරුණ බවත් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දේ.

    මේ අතර අහිතකර සමපේක්ෂණයන් මධ්‍යයේ වුවද, 2021 වසරේ මේ දක්වා කාලය තුළ දී රජයේ සියලුම ණය සේවාකරණ වගකීම් නිසි පරිදි සපුරා ඇති බවත්, ඉදිරියේදී ද ණය සේවාකරණයේ නොකැළැල් වාර්තාව පවත්වා ගැනීම සඳහා රජය කැපවී සිටින බවත් ශ්‍රී ලංකා මහ බැංකුව මීට පෙර අවධාරණය කර සිටියේය.

    මෙරටට විදේශ විනිමය ලැබෙන මාර්ග අනුව ඉදිරි මාස 3 තුළ ඇමරිකානු ඩොලර් මිලියන 2,650 කට ආසන්න ප්‍රමාණයක් මෙරටට ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වේ.

    ඉන්දියාව සමග සිදු කරන SWAP පහසුකම: ඇ.ඩො.මි 400
    බංගලාදේශය සමග සිදු කරන SWAP පහසුකම: ඇ.ඩො.මි 250
    චීන සංවර්ධන බැංකුවේ ලැබෙන ණය : ඇ.ඩො.මි 300
    ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලැබීමට විශේෂ අයිතිවාසිකම් ප්‍රධානය (Special Drawing Rights allocation from the IMF) : ඇ.ඩො.මි 800
    මහ බැංකුව ඉදිරි මාස 3 තුළ විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිලදී ගැනීම්: ඇ.ඩො.මි 200
    දේශීය බැංකු සතු ස්වෛරීත්ව බැඳුම්කර (ISB) වලින් ලැබෙන ගලා ඒම: ඇ.ඩො.මි 300
    ඌන උපයෝජිත වත්කම් උපයෝගී කර ගැනීමෙන් ලබා ගැනීමට අපේක්ෂිත ගලා ඒම්: ඇ.ඩො.මි 400

    ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තාවන්ට අනුව 2021 අප්‍රේල් මාසය අවසන් වන විට මධ්‍යම රජය විසින් ගෙවිය යුතු මුළු ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 16.28 ක් ලෙසින් සටහන්ව තිබුණු අතර ඒයින් ඩොලර් බිලියන 6.57 ක් විදෙස් ණය ලෙසින් වාර්තා වී තිබුණි.

    2021 ජූනි මාසය අවසන් වන විට මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 4 ක් ලෙසින් වාර්තා වන අතර ඒහිදී විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 3.57 ක් ලෙසින් දැක්වේ.