ශ්‍රී ලංකා තේ පර්යේෂණායතනය සහ ඉන්දියාවේ හිමාලයානු ජෛව සම්පත් තාක්ෂණ ආයතනයේ විද්‍යාත්මක හා කාර්මික පර්යේෂණ පිළිබඳ කවුන්සිලය අතර අවබෝධතා ගිවිසුමක්

    November, 18, 2020

    ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ පර්යේෂණ වැඩසටහන යටතේ 'අධි තාක්ෂණික ප්‍රවේණිගත කිරීම භාවිතයෙන් තේ ශාකයේ ජානමය ලක්ෂණ හඳුනා ගැනීම වේගවත් කිරීම සහ වැදගත් ශෂ්‍ය විද්‍යාත්මක ලක්ෂණ හඳුනාගැනීම' යනුවෙන් වර්ෂ දෙකක පර්යේෂණ ව්‍යාපෘතියක් සඳහා ශ්‍රී ලංකා තේ පර්යේෂණායතනයට ප්‍රදානයක් ලැබී ඇත.

    තේ ප්‍රභේද නිපදවීමේ කාර්යය සඳහා ගත වන කාලය අඩු කර අභිජනන වැඩසටහන් කඩිනම් කිරීමට අවශ්‍ය ජීව විද්‍යාත්මක මෙවලම් නිපදවීම මෙම පර්යේෂණයේ මූලික අරමුණ වේ.

    ඒ අනුව, එකී පර්යේෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා තේ පර්යේෂණායතනය සහ ඉන්දියාවේ හිමාලයානු ජෛව සම්පත් තාක්ෂණ ආයතනයේ විද්‍යාත්මක හා කාර්මික පර්යේෂණ පිළිබඳ කවුන්සිලය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස වැවිලි අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.