ශ්‍රී ලංකා තේ වගා ක්ෂේත‍්‍රයේ කෘෂිකාර්මික ක‍්‍රමවේදයන් පිළිබඳ වැරදි වැටහීම්වලට විසඳුම් සෙවීම

September, 16, 2021

මෙරට කෘෂිකාර්මික අංශයට අත්‍යවශ්‍ය පොහොර ලබා ගත හැකි බවට සහතික කිරීම සඳහා රජය මෑතකදී ගත් පියවර කලාපීය වැවිලි සමාගම් ඇතුළුව තේ රබර් සහ අනෙකුත් වැවිලි බෝග වගා කරන ක්ෂේත‍්‍රයේ සියලූම පාර්ශවකරුවන්ගේ පැසසුමට ලක් වී ඇත. විශේෂයෙන්ම තේ කර්මාන්තය අභියෝග රැසකට මුහුණ පා සිටින මේ අවස්ථාවේ මෙය ඉතා කාලෝචිත උපකාරයකි. එබැවින් රජයේ මෙම ක‍්‍රියාවලිය සියලූම කලාපීය වැවිලි සමාගම් විසින් ඇගයීමට හා ප‍්‍රශංසාවට ලක් කර ඇත.

කෙසේවෙතත් පොහොර පිළිබඳව මතු වූ මෑතකාලීන සාකච්ඡුාවලදී ඇතැම් විවේචකයින් හා මහජන නියෝජිතයින් විසින් ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන හා විදේශ විනිමය උපයන අපනයන මාර්ගවලින් එකක් වන ලොව පුරා පිළිගත් ‘සිලෝන් ටී’ නිපදවන ශ්‍රී ලංකාවේ තේ වතුවල කෘෂිකාර්මික පිළිවෙත් පිළිබඳව වැරදි වැටහීම් මතු කරන ලදී.

එනිසා මේ මගින් අරමුණු කරනු ලබන්නේ එවැනි මිත්‍යාවන් හා වැරදි වැටහීම් නිවැරදි කිරීම සහ කලාපීය වැවිලි සමාගම්වල තේ වතුවල පොහොර හා කෘෂි රසායනික භාවිතය පිළිබඳ පැහැදිලි කිරීම වේ.

ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයෙන් 75%කට වඩා වැඩි ප‍්‍රමාණයක් නිපදවනු ලබන්නේ කලාපීය වැවිලි සමාගම්වලට අයත් නොවන කුඩා තේ වතු හිමියන්ගේ ක්ෂේත‍්‍රය විසිනි. මෙහිදී RPC යටතේ තිබෙන වතුවල වගා පිළිවෙත් ගැන පමණක් අදහස් දක්වනු ලැබේ.

දිගුකාලීන තිරසාරභාවය සහතික කිරීමේ අරමුණින් හුදු වාණිජමය කරුණුවලින් ඔබ්බට ගොස් සමාජීය හා පාරිසරික සාධක කෙරෙහි නිසි අවධානයක් යොමු කරමින් සාම්ප‍්‍රදායික හා නවීන වගා ක‍්‍රම සුසංයෝජනය කිරීම ඒකාබද්ධ කෘෂිකාර්මික ක‍්‍රමවේදයයි.

ශ්‍රී ලංකාවේ තේ වගාවන් වසර 150කට වැඩි කාලයක් තිස්සේ ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුකූල ඉතා උසස් තත්වයේ තේ නිෂ්පාදනය කරමින් සිටී. එය ඒකාබද්ධ කෘෂිකාර්මික ක‍්‍රමවේදයන් නොමැතිව සිදු විය නොහැක.

RPC වතුවල වල් පැළෑටි මර්දනය කිරීම සඳහා කෘතිම රසායනික වල්නාශක මතම රඳා නොසිට විවිධ ජීව විද්‍යාත්මක ක‍්‍රමෝපායන් (හානිකර කෘමීන් මර්දනය කිරීමට විලෝපිකයන් යොදා ගැනීම) භාවිතා කිරීම ඒකාබද්ධ කෘෂිකාර්මික ක‍්‍රමවේද ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක වන ආකාරයට උදාහරණයකි. මීට සමානව පැළ ආරක්ෂා කිරීම වැනි වගාවට අදාල සියලූම කටයුතුවලදී සාම්ප‍්‍රදායික පිළිවෙත් සහ කාබනික ද්‍රව්‍ය හා නියමිත ප‍්‍රමාණවලින් නිර්දේශිත කෘෂි රසායනික භාවිතා කිරීම ද සිදු කරනු ලබයි.

කෘෂි රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන පිරිවැයේ (COP) සැලකිය යුතු අංගයක් වන අතර ඒවා වැඩිපුර යෙදීමෙන් නිෂ්පාදන පිරිවැය වැඩි වේ. මෙය RPC අපේක්ෂා නොකරන අතර එම චෝදනාවේ කිසිඳු පදනමක් නොමැත.

ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය ලෝකයේ වඩාත්ම පරිසර හිතකාමී සහ ඒ පිළිබඳව ජාත්‍යන්තර සහතික කර්මාන්තයක් වන බැවින් මෙම මිත්‍යා මතය අසත්‍ය වේ. RPC වලට අයත් වතු Rainforest Alliance, Forest Stewardship Council, Fairtrade International, Good Agricultural Practices වැනි ජාත්‍යන්තරව පිළිගත් සංවිධාන ගණනාවක් මගින් ප‍්‍රමිතිකරණයට ලක් කර ඇත. මීට අමතරව 1975 සිට එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) විසින් ශ්‍රී ලංකාවේ තේ ලොව පිරිසිදුම තේ ලෙස පිළිගෙන ඇත.

තේ වගාවේදී අධික ලෙස කෘෂි රසායනික භාවිතා කරනවා යැයි එල්ල වන පදනම් විරහිත චෝදනා ශ්‍රී ලංකාවේ තේ පර්යේෂණායතනය (TRI) වැනි ගෝලීය වශයෙන් පිළිගත් ආයතනවල කීර්ති නාමය කෙළසීමකි. තේ වගාව සඳහා කෘෂි රසායනික යෙදීමට TRI ඉඩ ලබා දෙන්නේ දැඩි පර්යේෂණ හා අනුමත කිරීමේ ක‍්‍රියාවලියකින් පසුවය.

නිෂ්පාදකයාගේ මෙන්ම ජාතික, ජාත්‍යන්තර හා ගැණුම්කරුවන්ගේ ප‍්‍රමිතීන්ට අනුකූලව බහු ආරක්ෂක හොඳම ක‍්‍රමෝපායන් කෘෂි රසායනික භාවිතයේදී RPC දැඩි ලෙස අනුගමනය කරයි.

කාබනික තේ සඳහා ඇත්තේ ගෝලීය වශයෙන් 1%කටත් වඩා අඩු ඉතා කුඩා වෙළෙඳපොලකි. ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය විවිධ පැතිකඩ ඔස්සේ දැඩි අභියෝගවලට ලක් වී ඇති වකවානුවක මෙම කුඩා වෙළෙඳපොල වෙත මාරු වීම කිසිසේත් සුභදායක නොවන්නේ 2020 මුළු අපනයන ආදායම අනුව ඇ.ඩො.බි. 1.2 ඉක්මවන කර්මාන්තයක් කුඩා වෙළෙඳපොලකින් පවත්වා ගත නොහැකි නිසාය.

RPC සමස්තයක් ලෙස සේවකයින් 105,000කට රැකියා ලබා දෙන අතර දළ වශයෙන් වතුකරයේ ජනතාවගෙන් මිලියනකට පමණ විවිධ පහසුකම් සපයනු ලබයි. වතුකරයේ වෙසෙන ජනතාවගෙන් 5%කට පමණ සෙත සලසන RPC මෙවැනි කුඩා වෙළෙඳපොලක් වෙත යොමු වීමෙන් එම ජනතාවගේ ජීවිත ඔට්ටුවට තැබීම RPC වලට කළ නොහැකි දෙයකි.

මීට අමතරව ප‍්‍රායෝගිකව මුළුමනින්ම කාබනික වගාව වෙත යොමු වීම අභියෝගාත්මකය. කාබනික තේ කිලෝග‍්‍රෑමයක ඇස්මේන්තුගත නිෂ්පාදන පිරිවැය රුපියල් 1900/-ක් වන අතර එය සාම්ප‍්‍රදායිකව නිපදවන තේ කිලෝග‍්‍රෑමයක නිෂ්පාදන පිරිවැය මෙන් තුන් ගුණයක් පමණ වේ.

100%ක් කාබනික වගා වෙත යොමු වුවහොත් විශාල වශයෙන් රෝග ඇති වීමේ සම්භාවිතාවක් පවතී. 1869 දී කෝපි වගාවට බලපෑ කෝපි කොළ මළකඩ වීමේ දිලීර රෝගය හේතුවෙන් කෝපි වගාවෙන් සැලකිය යුතු ප‍්‍රමාණයක් මුළුමනින්ම වැනසී ගිය බව ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙක් අසා ඇත.

එකල දිලීර රෝගයට කෘෂි රසායනික ද්‍රව්‍ය නොමැති වීම හේතුවෙන් ප‍්‍රතිකාර කිරීමේ හැකියාවක් නොතිබුණ අතර එනිසා මුළු කර්මාන්තයම විනාශ විය. දැන් කෘෂිකර්මාන්තයේ හා තාක්ෂණයේ දියුණුව නිසා එවැනි අභියෝගවලට සාර්ථකව මුහුණ දිය හැකි නමුත් කෘෂි රසායනික ද්‍රව්‍ය කිසිඳු ආකාරයකින් භාවිතා නොකොට ඒවාට පිළියම් කිරීම අතිශයින් දුෂ්කරය.

උදාහරණයක් ලෙස තේ වතුවල අධික තෙතමනයක් පවතින අවස්ථාවලදී දිලීර නාශක යෙදීම අවශ්‍ය වේ. එසේ නොමැති වුවහොත් එම දිලීර රෝග හේතුවෙන් ඉතා කෙටි කාලයක් තුළදී අස්වැන්නෙන් 20% සිට 30% දක්වා ප‍්‍රමාණයක් අහිමි විය හැකිය.

අවසාන වශයෙන් කිවහොත් විවිධ පදනම් විරහිත චෝදනා එල්ල වුවත් RPC යටතේ පවතින වතුවල කෘෂි රසායනික භාවිතය සම්බන්ධයෙන් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සියලූම ආරක්ෂිත ක‍්‍රමවේද අනුගමනය කරනු ලබන බව අවධාරණය කළ යුතුය. එසේ නොමැති නම් ‘සිලෝන් ටී’ වෙළෙඳ නාමය එහි ගුණාත්මකභාවය පිළිබඳව ජාත්‍යන්තරව ලබා ඇති පිළිගැනීම ශක්තිමත් නොවනු ඇත.