July, 28, 2025
‘ඩිජිටල් ගනුදෙනු තුලින් අනාගතය හැඩගන්වමු’
ශ්‍රී ලංකා මහ බැංකුව, සිය 2025 ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහන තවදුරටත් ඉදිරියට ගෙන යමින්, 2025 අගෝස්තු 1 සහ 2 යන දිනවල පෙ.ව. 9.30 සිට ප.ව. 7.00 දක්වා දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේදී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහනක් සංවිධානය කර ඇත.
මූල්‍ය අන්තර්ගතභාවය වැඩි දියුණු කිරීම සහ එතුලින් ආර්ථික වර්ධනයට මඟ පෑදීමේ දී ඩිජිටල් ගෙවීම් මගින් ඉටු කරන වැදගත් කාර්යභාරය සැලකිල්ලට ගනිමින්, ‘ඩිජිටල් ගනුදෙනු තුලින් අනාගතය හැඩගන්වමු’ යන තේමාව යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව මෙම දීප ව්‍යප්ත වැඩසටහන දියත් කරන ලදී. මුදල් නෝට්ටු සහ කාසි වෙනුවට ගනුදෙනු සඳහා භාවිතා කල හැකි වඩාත් ආරක්ෂිත, පහසු සහ කාර්යක්ෂම විකල්පයක් වන ඩිජිටල් ගෙවීම් පිළිබඳ දැනුම සහ අත්දැකීම් ශ්‍රී ලාංකිකයින්ට ලබා දීම මෙම වැඩසටහනේ අරමුණයි. මෙම දීප ව්‍යප්ත වැඩසටහනේ කොටසක් ලෙස, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම වසර මුලදී හම්බන්තොට සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල මෙවැනිම ප්‍රවර්ධන වැඩසටහන් දෙකක් මූල්‍ය ආයතන සහ අනෙකුත් පාර්ශවකරුවන්ගේ සහයෝගයෙන් සාර්ථකව පවත්වන ලදී.
බැංකු, මූල්‍ය සමාගම්, විද්‍යුත් මුදල් සේවා සපයන්නන් (උදා: ජංගම දුරකථන ජාල ක්‍රියාකරුවන්) සහ ජාතික ගෙවීම් ජාලයේ ක්‍රියාකරු වන ලංකාපේ (පුද්.) සමාගම ද මෙම වැඩසටහනට සහභාගී වීමට නියමිතය. නව ගිණුම් විවෘත කිරීම, ජංගම ගෙවීම් යෙදවුම් (mobile payment applications) සඳහා ලියාපදිංචි වීම, මූල්‍ය සේවා පිළිබඳ තොරතුරු ලබා ගැනීම, ඩිජිටල් ගෙවීම් සිදු කිරීමේදී මුහුණ දෙන ගැටළු සඳහා විසඳුම් ලබා ගැනීම මෙන්ම ඩිජිටල් ගෙවීම්වලට අදාළ වෙනත් ඕනෑම කරුණක් සඳහා මෙම වැඩසටහන හරහා සහාය ලබා ගැනීමට මහජනතාවට හැකි වනු ඇත. මෙම වැඩසටහනට සහභාගී වන ක්‍ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරික ආයතන වලින් විවිධ වර්ගයේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට සහ ඒ සඳහා ඩිජිටල් ගෙවීම් ක්‍රම භාවිතා කර සුවිශේෂී වට්ටම් ලබා ගැනීමට ද මෙම වැඩසටහන තුලින් මහජනතාවට අවස්ථාව උදා වනු ඇත.
මීට අමතරව, ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය (Credit Information Bureau of Sri Lanka - CRIB) විසින් සපයනු ලබන සේවාවන් පිළිබඳ තොරතුරු ලබා ගැනීමට සහ ස්වකීය ණය තොරතුරු වාර්තා (CRIB Report) නොමිලේම ලබා ගැනීමට මෙම වැඩසටහන හරහා මහජනතාවට සහ ව්‍යාපාරික ආයතනවලට අවස්ථාව උදා වනු ඇත.
තවද, ව්‍යාපාරික ආයතනවලට LANKAQR ක්‍රමවේදය ඔස්සේ ගෙවීම් ලබා ගැනීමේ පහසුකම ලබා දීම සඳහා මූල්‍ය ආයතන සහ ලංකාපේ (පුද්.) සමාගම එක්ව දියත් කරණු ලබන දැනුම්වත් කිරීමේ වැඩසටහන 2025 ජූලි 29 සිට 31 දක්වා කාලය තුළ පිළිවෙලින් සීගිරිය, හබරණ සහ දඹුල්ල ප්‍රදේශවල දී පවත්වනු ලැබේ.
මූල්‍ය ආයතනවල මග පෙන්වීම සහ සහාය තුලින් ඩිජිටල් ගෙවීම් පිළිබඳ සිය දැනුම වැඩි දියුණු කර ගැනීමට සහ ඩිජිටල් ගෙවීම් සිදුකිරීමේ පහසුව අත්දැකීමට මෙම අවස්ථාව සඳහා සහභාගී වන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට සහ ව්‍යාපාරික ආයතනවලට ආරාධනා කරයි.
Video Story