ශ්‍රී ලංකා මහ බැංකුව 2025 පෙබරවාරි මුදල් ප්‍රතිපත්ති වාර්තාව ප්‍රකාශයට පත් කරයි

    February, 14, 2025

    2023 අංක 16 දරන මහ බැංකු පනතෙහි දක්වා ඇති අවශ්‍යතාවන්ට අනුකූලව ශ්‍රී ලංකා මහ බැංකුව 2025 වසර සඳහා සිය පළමු මුදල් ප්‍රතිපත්ති වාර්තාව නිකුත් කළේය. මුදල් ප්‍රතිපත්ති වාර්තා වසරකට දෙවරක් ප්‍රකාශයට පත් කරන අතර, මෙවර  නිකුතුවේ අන්තර්ගතය 2025 වසරේ  ජනවාරි මාසයේ මුදල් ප්‍රතිපත්ති සමාලෝචනයට අදාළ තීරණ ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් සැලකිල්ලට ගනු ලැබූ තොරතුරු මත පදනම් වී ඇත.

    මුදල් ප්‍රතිපත්ති වාර්තාව, විශේෂයෙන් ම, ආර්ථික වර්ධනය සහ උද්ධමනයට අදාළව ඉදිරි දැක්මක් ලබා දෙයි. දේශීය හා ගෝලීය වශයෙන් දැනට පවතින මෙන්ම අපේක්ෂිත ප්‍රවණතා සැලකිල්ලට ගනිමින්, උද්ධමනය සහ ආර්ථික වර්ධන පුරෝකථන සඳහා පවතින අවදානම් පිළිබඳව ඇගයීමක් ඉදිරිපත් කිරීම ද මෙම වාර්තාවෙන් අපේක්ෂා කෙරේ. මෙම වාර්තාව මගින් මෑත කාලීන මුදල් ප්‍රතිපත්ති තීරණ ගැනීම සඳහා මූලික වූ පසුබිම සන්නිවේදනය කිරීම තුළින් මහ බැංකුවේ විනිවිදභාවය සහ වගවීම වැඩි දියුණු කිරීමට මහ බැංකුව ප්‍රයන්ත දරයි.

    සුවිශේෂී කරුණු

    • මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය 2024 වසරේ අග භාගයේ දී තවදුරටත් ලිහිල් කරන ලද අතර, එම ලිහිල් ස්ථාවරය 2025 වසරේ ජනවාරි මාසය දක්වා ද පැවතුණි.
    • මහ බැංකුව විසින් තනි ප්‍රතිපත්ති පොලී අනුපාතික ක්‍රමවේදයක් ක්‍රියාවට නංවන ලද අතර, මූලික මුදල් ප්‍රතිපත්ති මෙවලම ලෙස එක්දින ප්රතිපත්ති පොලී අනුපාතිකය හඳුන්වා දෙන ලදී.
    • ප්‍රධාන වශයෙන් බලශක්ති මිල ගණන් සැලකිය යුතු ලෙස අඩුවීම හේතුවෙන් 2024 වසරේ සැප්තැම්බර් මාසයේ සිට වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මතුපිට උද්ධමනය සෘණ අගයක පැවතුණි.
    • 2025 වසරේ මුල් භාගයේ දී, පුරෝකථනය කළ පරිදි කෙටි කාලීන අවධමන තත්ත්වයෙන් අනතුරුව, මතුපිට උද්ධමනය වැඩි වී, මැදි කාලීනව සියයට 5ක ඉලක්කගත මට්ටමේ ස්ථායීවනු ඇතැයි පුරෝකථනය කර ඇත.
    • 2024 වසරේ දී ආර්ථික ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පත් වීම අඛණ්ඩව සිදු වූ අතර, ලිහිල් මුදල් තත්ත්ව සහ ආයෝජකයින්ගේ විශ්වාසය වැඩිදියුණු වීම ඒ සඳහා සහාය විය.
    • අවශ්‍ය ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සහ වර්ධනය ඉලක්ක කරගත් ප්‍රතිපත්ති ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සමඟ ආර්ථික වර්ධන වේගය අඛණ්ඩව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.