ශ්‍රී ලංකා මහ බැංකුව 4% කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමයේ ඉල්ලුම්පත් භාරගැනීමේ අවසාන දිනය 2020 සැප්තැම්බර් 30 දක්වා දීර්ඝ කරයි

    August, 21, 2020

    2020 අගෝස්තු 19 වන දින පැවති මුදල් මණ්ඩල රැස්වීමේදී 4% කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමයේ කාලසීමාව දීර්ඝ කිරීමට මුදල් මණ්ඩලය තීරණය කළේය. ඒ අනුව, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර සහ පුද්ගලයින්ට සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද සහන ණය පහසුකම යටතේ සිය ණය අයදුම්පත් 2020 සැප්තැම්බර් 30 දක්වා අදාළ බලපත්‍රලාභී බැංකුවලට ඉදිරිපත් කළ හැකිය.

    ඉහත පහසුකම යටතේ බලපත්‍රලාභී බැංකු මඟින් අයදුම් කරන ලද ණය අයදුම්පත් 36,489ක් සඳහා රුපියල් මිලියන 100,017ක් අනුමත කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව 2020 අගෝස්තු 18 වන දිනට රුපියල් බිලියන 100ක ණය කඩඉම අභිබවා යන ලදී. අනුමත ණයවලින් බලපත්‍රලාභී බැංකු 2020 අගෝස්තු 18 වන විට දිවයින පුරා පීඩාවට පත් ව්‍යාපාර සහ පුද්ගලයින් 25,365ක් අතර බිලියන 68.5ක් මුදා හැර ඇත. (විස්තර සඳහා 1 වන වගුව බලන්න).

    අනුමත කරන ලද රුපියල් බිලියන 100ක ණය මුදල අතුරින් 50%ක ප්‍රමාණයක් වෙළෙඳාම ප්‍රමුඛ සේවා අංශයේ ව්‍යාපාර සඳහා ද, 34% ක හා 16% ක ප්‍රමාණයන් පිළිවෙලින් කර්මාන්ත හා කෘෂිකාර්මික අංශයේ ව්‍යාපාර සඳහා ද ලබා දී ඇත.

    ශ්‍රී ලංකා මහ බැංකුව, රජය හා එක්ව කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ස්වයං රැකියා හා තනි පුද්ගල ව්‍යාපාර ද ඇතුළුව සියලු ව්‍යාපාර සඳහා, වාර්ෂිකව 4%ක පොලී අනුපාතිකයක් යටතේ මාස හයක සහන කාලයක් ද ඇතුළත්ව මාස 24ක් දක්වා ණය ආපසු ගෙවීමේ කාලසීමාවක් සහිතව කාරක ප්‍රාග්ධන ණය පහසුකම් සැපයීම සඳහා මෙම ණය පහසුකම අදියර තුනක් යටතේ හඳුන්වා දී ඇත.