ශ්‍රී ලාංකිකයින්ට තායිලන්තයේ ‘visa-free‘ වෙයි

    May, 30, 2024

    සිය රටට වැඩි සංචාරකයින් පිරිසක් ආකර්ෂණය කර ගැනීම අරමුණු කර ගනිමින් තායිලන්තය වෙත පැමිණෙන සංචාරකයින් සඳහා මෙතෙක් ලබා දී තිබූ visa-free හා visa-on-arrival වීසා පහසුකම් පුළුල් කිරීමට තායි කැබිනට් මණ්ඩලය පසුගිය දා තීරණය කර තිබේ.

    ඒ අනුව එරට සංචාරක අමාත්‍යාංශය විසින් සිදුකළ යෝජනාවකට අනුමැතිය ලබා දෙමින් මෙතෙක් තායිලන්තයට ඇතුල් වීම සඳහා visa-free ප්‍රවේශ පහසුකම ලබා දී තිබුණු රටවල් සංඛ්‍යාව 57 සිට 93 ක් දක්වා වැඩි කිරීමට අනුමැතිය හිමිව ඇත.

    එම රටවල් 93 අතරට ශ්‍රී ලංකාවද ඇතුළත්ව තිබීම විශේෂත්වයකි.

    මීට අමතර ඇල්බේනියාව, කාම්බෝජය, චීනය, ඉන්දියාව, ජැමෙයිකා, කසකස්තානය, ලාඕසය, මෙක්සිකෝව, මොරොක්කෝව, පැනමාව සහ රුමේනියාව ද තායිලන්තයේ visa-free ප්‍රවේශ පහසුකම ලැබී ඇති නව රටවල් ලැයිස්තුව අතර වේ.

    තායිලන්තයේ ජාතික ආර්ථිකය සංචාරක කර්මාන්තය මත ඉහළ රැඳියාවක් පවතින බැවින් එරටට හැකිතාක් විදෙස් සංචාරකයින් ආකර්ඹණය කර ගැනීම අරමුණු කර ගනිමින් තායි විදේශ අමාත්‍යාංශය විසින් මෙම යෝජනාව කර ඇති බව එරට Bangkok Post පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කරයි.

    තායිලන්තයේ මෙම නව වීසා ප්‍රතිපත්තිය 2024 ජූනි 01 දින සිට බලපැවැත්වෙනු ඇත.