සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රම සඳහා ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී නිසි ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුයි – ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී අවධාරණය කෙරේ

    May, 26, 2023

    සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රම සඳහා ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී නිසි ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බව ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී අවධාරණය කෙරිණි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා පැවති ක්‍රම සහ විධි කාරක සභාවේදී මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි.

    ජුලි මස පළමුවැනිදා සිට රජය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත අස්වැසුම යෝජනා ක්‍රමය පිළිබඳව අදාළ නිලධාරීහු කාරක සභාව දැනුවත් කළහ. සංක්‍රාන්තික, අවදානමට ලක් වූ, දුප්පත් හා අන්ත දිළිඳු යන සමාජ කාණ්ඩ 04ක් යටතේ “අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සිදු කෙරෙන අතර ආබාධිත තැනැත්තන්, වැඩිහිටි සහ වකුගඩු රෝගීන් සඳහා ද සුපුරුදු පරිදි අදාළ දීමනා මෙම යෝජනා ක්‍රමය යටතේ ලබා දෙන බව නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ.

    මෙම දීමනාව ලබා ගැනීම සඳහා අයැදුම්පත් ලක්ෂ 37කට අධික ප්‍රමාණයක් ලැබී ඇති බවත් සැබෑ අවශ්‍යතා ඇති පිරිසට මෙම දීමනාව ජූලි මස පළමු දින සිට ලබාදීමට කටයුතු කරන බවත් මෙහිදී අනාවරණය විය. සමෘද්ධි දීමනාව ලබන්නන්ගෙන් සියයට 30ක් ඒ සඳහා සුදුසුකම් නොලබන බව ලෝක බැංකුව පෙන්වා දී ඇති බවත් එය සැලකිල්ලට ගෙන මෙම යෝජනා ක්‍රමය සඳහා ප්‍රතිලාභීන් තෝරා ගත යුතු බවත් කාරක සභාවේ සභාපතිවරයා අවධාරණය කළේය.

    අස්වැසුම යෝජනා ක්‍රමයෙන් ප්‍රතිලාභ ලබන ප්‍රතිලාභීන් වරින් වර ඇගයීමට ලක් කිරීමේ අවශ්‍යතාවය ද කමිටුව පෙන්වා දුන්නේය.

    මේ අතර පසුගිය සතියේ පැවති මෙම කාරක සභා රැස්වීමකදී නියෝග කළ පරිදි රේගු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ මුදල් අමාත්‍යාංශය විසින් අදාළ වාර්තා  නියමිත දිනට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් කාරක සභාවේ සභාපතිවරයා සිය අප්‍රසාදය  පළ කළේය.

    පාර්ලිමේන්තුවේ කාරක සභාවක් මගින් වාර්තා සහ අදහස් කැඳවන විට නියමිත කාල සීමාව තුළ ඉදිරිපත් කිරීමට  පියවර ගන්නා ලෙස කාරක සභාවේ සභාපතිවරයා නිලධාරීන්ට අවධාරණය කර සිටියේය.