අඛණ්ඩව තෙවන වසරටත් විදේශ ජංගම ගිණුමේ අතිරික්තයක්

    January, 9, 2026

    2025 වසර අවසන්වි වන විට විදේශ ජංගම ගිණුම අඛණ්ඩව තෙවන වසරටත් අතිරික්තයක් වාර්තා කර ඇති බව, 2026 වසර සහ ඉදිරිය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය නිකුත් කරමින් මහ බැංකුව පවසයි.

    2025 වසරේ දී, ගෝලීය වෙළඳ ප්‍රතිපත්ති වෙනස්වීම සහ ඉහළ ගිය භූ දේශපාලනික ආතතීන් හේතුවෙන් උත්සන්න වූ ගෝලීය අවිනිශ්චිතතා මධ්‍යයේ ශ්‍රී ලංකාවේ විදේශීය අංශය සැලකිය යුතු අභියෝගවලට මුහුණ දීමට සිදු වී ඇත.

    ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ දේශීය වශයෙන් ගත් කළ, ආනයන සීමා ඉවත් කිරීමෙන් පසු වාහන සඳහා ඇති ඉල්ලුම අපේක්ෂා කළ මට්ටම ඉක්මවා ඉහළ යෑම සමඟ සිදු වූ වාහන ආනයනය හේතුවෙන් මෙම පීඩන තවදුරටත් තීව්‍ර වූ බවයි. කෙසේ වෙතත් ආනයන සීමා නැවත පැනවිය හැකි බවට පැතිරුණු අසත්‍ය ප්‍රචාරයන්ද මෙම තීව්‍ර වීමට හේතු වී ඇත.

    මෙම ප්‍රවණතා හේතුවෙන් විදේශ විනිමය ද්‍රවශීලතාව සහ විනිමය මත යම් පීඩනයක් එල්ල විය.

    කෙසේ වුව ද, විදේශ ජංගම ගිණුම අඛණ්ඩව තෙවන වසරටත් අතිරික්තයක් වාර්තා කර ඇතැයි මහ බැංකුව ඇස්තමේන්තු ගත කර තිබේ.

    එහි ප්‍රතිඵලයක් වශයෙන්, වෙළඳපොළ මගින් නිර්ණය කරන විදේශ විනිමය අනුපාතිකය අඩු වශයෙන් උච්චා වචනය වී ඇති අතර වසර තුළ දී ක්‍රමිකව අවප්‍රමාණ වීමක් වාර්තා කර ඇත.