අඛණ්ඩව 12 වෙනි දිනටත් කොටස් වෙළෙඳපොළ ඉහළට

    June, 5, 2025

    කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (05) දිනයේ දී ඒකක 81.89 ක වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්විය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 17,434.94 ක් ලෙසින් සටහන් වූ අතර එය සියලු කොටස් මිල දර්ශකයේ මෙතෙක් ඉතිහාසයේ වාර්තා වී තිබෙන ඉහළම අගය වේ.

    මේ අතර දිනය තුළ S&P SL20 දර්ශකය ඒකක 34.13කින් ඉහළ යමින් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 5,193.79 ක් දක්වා වර්ධනය වී තිබුණි.

    අද දින සමාගම් 127ක කොටස් මිල ගණන් ඊයේ දිනයට සාපේක්ෂව ඉහළ ගොස් තිබෙන අතර එහිදී සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනය සඳහා ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, සම්පත් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, ලයන් බෘෘවරි සහ ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් යන සමාගම්වලින් ඉහළ දායකත්වයක් ලැබී තිබුණි.

    රු. බිලියන 5.59ක ගනුදෙනු පිරිවැටුමක් අද දිනය තුළ වාර්තා විය. එහිදී සාමාන්‍ය ගනුදෙනු හරහා හේමාස් හෝල්ඩිංග්ස් (රු. මි. 218), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් (රු. මි. 205), ලංකා මිල්ක් ෆුඩ්ස් (රු.මි. 198), LB ෆිනෑන්ස් (රු. මි. 191), ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් (රු. මි. 191) යන සමාගම්වලින් දෛනික පිරිවැටුමට වැඩි දායකත්වයක් වාර්තා වී ඇත.

    අද දින දේශීය මිල දී ගැනීම් රු. බිලියන 5.43 ක් හා දේශීය විකිණුම් රු. බිලියන 5.47 ක් ලෙසින් වාර්තා වූ විදෙස් ආයෝජකයින්ගේ ක්‍රියාකාරීත්වය පැවතියේ ඉතා පහළ මට්ටමකය. එහිදී විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 164ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 123 ක් ලෙසින් සටහන් වී තිබුණි.

    සියලු කොටස් මිල දර්ශකය අද දින ඉහළ ගොස් තිබුණේ අඛණ්ඩව 12 වෙනි දිනයට වීම විශේෂත්වයකි.