අගලවත්ත කොටස් අලෙවියට එරෙහිව මැක්වුඩ්ස් කොටස්කරුවන්ගෙන් පැමිණිලි

    July, 20, 2016

    මැක්වුඩ්ස් වැවිලි (පුද්) සමාගම සතුව තිබූ අගලවත්ත වැවිලි සමාගමේ බහුතර කොටස් අයිතිය පසුගිය දා අලෙවි කරන ලදී. මෙය සමාගමේ ප්‍රකාශිත කොටස් ප්‍රාග්ධනයෙන් 60.8% ක් හෙවත් කොටස් මිලියන 15.2 කි. කෙසේ වෙතත් මේ වන විට අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාව වෙත පැමිණිල්ලක් ලැබී තිබෙන බව වාර්තා වේ. ඒ මැක්වුඩ්ස් වැවිලි (පුද්) සමාගමේ කොටස් හිමියන්ගේ අනුමැතියකින් තොරව අදාළ ගනුදෙනුව කර ඇති බවයි.

    නිර්මාලී සමරතුංග හා එම්.ජේ. වර්මා යන මැක්වුඩ්ස් වැවිලි (පුද්) සමාගමේ කොටස්කරුවන් දෙදෙනා විසින් මෙම පැමිණිල්ල ගොනු කොට තිබේ. මේ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ මෙම කොටස් අලෙවිය සිදුකළ වෛද්‍ය ක්‍රිෂාන්ත නෝනිස් යන අය මැක්වුඩ්ස් වැවිලි (පුද්) සමාගමේ කොටස් හිමියන්ගෙන් අනුමැතියකින් තොරව මෙම ගනුදෙනුව කර ඇති බවත්, එවැනි කොටස් ගනුදෙනුවක් කිරීමට ඔහුට අධිකාරියක් නොමැති බවත්ය.

    මේ සම්බන්ධයෙන් සුරැකුම්පත් හා විනිමය කොමිසම විසින් මැක්වුඩ්ස් වැවිලි (පුද්) සමාගමේ CDS ගිණුම පිළිබඳ වාර්තාවක් කැඳවා ඇති අතර ඊට අනුව සඳහන් වන්නේ සමාගම වෙනුවෙන් ගනුදෙනු අධිකාරිය පැවරී ඇත්තේ ෂෙලෙන්ද්‍රා රණවීර හා ලලිත් ෆොන්සේකා යන දෙදෙනාට බවයි. එබැවින් මැක්වුඩ්ස් වැවිලි (පුද්) සමාගම වෙනුවෙන් ගනුදෙනු තීරණ ගැනීම සඳහා වෛද්‍ය ක්‍රිෂ් නෝනිස් හට බලය පැවරී ඇත්ද යන්න තහවුරු කිරීමට අවශ්‍ය බව දන්වා තිබේ.

    මෙම තත්ත්වය තුළ අදාළ කොටස් ගනුදෙනුවෙන් විකුණුම් පාර්ශවයට ලැබිය යුතු ගෙවීම් පියවීම ඉදිරි උපදෙස් ලැබෙන තුරු අත්හිටුවන ලෙස සුරැකුම්පත් හා විනිමය කොමිසම, මෙම ගනුදෙනුවේ විකුණුම් පාර්ශවය වෙනුවෙන් කොටස් තැරැව්කාර පහසුකම් සපයන ලද ක්ලැරිඩ්ජ් කොටස් තැරැව්කාර (පුද්) සමාගම වෙත දැනුම් දී තිබේ.

    මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාව විසින් ක්ලැරිඩ්ජ් කොටස් තැරැව්කාර (පුද්) සමාගම වෙත කරන ලද දැනුම් දීම පහත දැක්වේ.