අගලවත්ත ගනුදෙනුවෙන් පසු බ්‍රවුන්ස් කැපිටල් ඉඩම් අයිතිය ඉහළට

    July, 15, 2016

    අගලවත්ත වැවිලි සමාගමේ බහුතර කොටස් අයිතිය ඊයේ දිනයේ දී මැක්වුඩ්ස් වැවිලි සමාගම විසින් අලෙවි කිරීමත් සමගම එහි ගැනුම්කරුවා බ්‍රවුන්ස් කැපිටල් සමාගම බව අනාවරණය වී තිබේ.

    බ්‍රවුන්ස් කැපිටල් සමාගම අද දිනයේ දී මේ බව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී තිබේ. එහි වැඩිදුරටත් සඳහන් වන්නේ රු. 20.00 බැගින් අගලවත්ත වැවිලි සමාගමේ කොටස් මිලියන 15.2 ක් මිල දී ගැනීමට බ්‍රවුන්ස් කැපිටල් සමාගම පියවර ගත් බවයි. ඒ සඳහා ආයෝජිත මුදල් රුපියල් මිලියන 304 කි.

    මෙය සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් 60.80% කි.

    මැක්වුඩ්ස් වැවිලි සමාගම මේ සම්බන්ධයෙන් කියා සිටින්නේ පසුගිය කාලවකවානුව පුරාවට දේශීය හා අන්තර්ජාතික වශයෙන් කර්මාන්තය තුළ සිදුවූ කඩාවැටීම මෙම තීරණය සඳහා මූලික වූ බවයි. ගෝලීය වෙළෙඳ භාණ්ඩ වෙළෙඳපොළ පහළ යාමත්, රුසියානු රූබලයේ අවප්‍රමාණය හමුවේ රුසියාවේ ගැණුම් හැකියාව පහළ යාමත්, පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවලින් තිබූ ඉල්ලුම පහළ යාම සහ ස්වභාවික රබර් වෙනුවට සින්තටික් රබර් සඳහා තිබෙන ඉල්ලුම ඉහළ යාම නිසා රබර් මිල පහළ වැටීම යනාදී වශයෙන් හේතු ගණනාවක් නිසා මෙවැනි පියවරක් ගැනීමට සිදුවූ බවයි.

    2016 මාර්තු 31 න් අවසන් කාර්තුවේ දී අගලවත්ත වැවිලි සමාගමේ අලාභය රුපියල් මිලියන 26.7 ක් වන අතර ඊට පෙර 2015 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුවේ දී සමාගම රුපියල් මිලියන 86 ක ලාභයක් ලබා ඇති බව වාර්තා වේ.

    බ්‍රවුන්ස් කැපිටල් පීඑල්සී මෙරට ප්‍රමුඛ පෙළේ සමාගම් සමූහයක් වන අතර දිවයින පුරා අක්කර 57,000 ක් හිමිකාරීත්වය එය සතුය. එහිදී කොළඹ දිස්ත්‍රික්කය තුළ අක්කර 9,200 ක්, තේ අක්කර 19,000 ක්, රබර් අක්කර 13,000 ක්, වාණිජ දැව අක්කර 3,500 කින් එය සමන්විතය. සමාගම වාර්ෂිකව නිපදවන තේ ප්‍රමාණය කිලෝග්‍රෑම් මිලියන 12.5 කි.