අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ මධ්‍ය කාලීන ආර්ථික ප්‍රතිපත්තිය තරගකාරී සමාජ වෙළඳ පොළ ආර්ථිකයක් ගොඩනැගීමේ පදනමයි – ආචාර්ය හර්ෂ කියයි

    November, 7, 2015

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ශ්‍රී ලංකාවේ තුන්වන පරම්පරාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ තුළින් මෙරටට තිරසාරාත්මක වර්ධනයක් ළඟාකර ගැනීමට අවශ්‍ය වන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ බලාපොරොත්තු වූවාටත් වඩා ඉහළින් ඉදිරිපත් කර තිබීම කැපී පෙනේ. මැතිවරණ සමයේදී අපි විසින් පොරොන්දු වූ ඉහළ වැටුපක් ලැබෙන නව රැකියා දස ලක්ෂයක් බිහිකරන සමාජ සාධාරණත්වය සහ දැනුම මුල් කරගත් ඉතාමත් තරගකාරී සමාජ වෙළඳපොළ ආර්ථිකයක් (social market economy) නිර්මාණය කිරීමට මෙම ප්‍රතිසංස්කරණ තුළින් පදනම වැටෙනු ඇත. ශ්‍රී ලංකාව ලෝකයේ වඩාත් වේගයෙන් වර්ධනය වන ආර්ථිකයක් බවට පත්කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ මෙම ප්‍රතිසංස්කරණ යෝජනාවන් ඉතාමත් ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීති සකස් කිරීමේ වගකීමේ මේ සමගම පාර්ලිමේන්තුවට පැවරී තිබීම පිළිබඳව අපි කොයි කවුරුත් අවධානය යොමුකළ යුතුය.

    ශ්‍රී ලංකාවේ සමස්ත ආර්ථිකය කෙරෙහිම අදාළ වන මෙවැනි පුළුල් ප්‍රතිසංස්කරණ යෝජනා මාලාවක් මෙරට නවීන ආර්ථීක ඉතිහාසය තුළ ඉදිරිපත්වූ පළමු වතාව මෙය වන්නට පුළුවන. රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමට කර තිබෙන යෝජනාවන් සහ රාජ්‍ය ව්‍යවසායන් කළමනාකරණය කිරීම සඳහා සිංගප්පූරුවේ ටමාසෙක් ආයතනයට සමාන රාජ්‍ය ව්‍යවසාය අයිතිය හිමි සීමිත සමාගමක් ස්ථාපිත කිරීමට කර තිබෙන යෝජනා පැසසිය යුතුවේ. මහජන ධන භාරය නැමති අරමුදලක් පිහිටුවා මේ සමාගමේ කොටස් හිමිකම ඒ අරමුදල ඔස්සේ ජනතාව වෙත භාර කිරීමට කටයුතු කිරීමත් මෙම අරමුදලේ භාරකරුවන් ලෙස නිල බලයෙන් භාණ්ඩාගාර ලේකම් සහ මහ බැංකු අධිපතිවරයා පත් කිරීමට අමතරව අනෙක් සාමාජිකයින් ලෙස වෘත්තීය සමිති, සිවිල් සමාජ හා වාණිජ මණ්ඩල නියෝජිතයින් අතරින් ව්‍යවස්ථාදායක සභාව විසින් නම්කරන පුද්ගලයින් පත්කිරීමත් අගය කළ යුතුය. මීට අමතරව, සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල සුරක්ෂිත කිරීම සඳහා එම අරමුදල් දෙක එකට එක්කර ජාතික විශ්‍රාම පාරිතෝෂිත අරමුදල නමින් ස්වාධීන අරමුදලක් නිර්මාණය කිරීම ජනතාව වෙහෙස මහන්සි වී උපයාගෙන මෙම අරමුදල්වලට බැරකළ මුදල් නාස්ති කිරීමට වැට බැඳීමක් ලෙස සඳහන් කළ හැකිය. ලක්ෂ 30 කට ආසන්න ජනතාවකට සින්නක්කරවම දේපොළ සහ නිවාස අයිතිය ලබාදීම සඳහා කර තිබෙන යෝජනාවන් තුළින් කෘෂි කාර්මික ඉඩම් වලට මෙන්ම නාගරික සහ උප නාගරික ප්‍රදේශවල නේවාසික දේපොළ සඳහා වෙළඳපොළක් නිර්මාණය වීමේ අවස්ථාව උදාවේ.

    ලෝක වෙළඳ පොළ සඳහා ඉහළ වටිනාකමකින් යුතු භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමට ශ්‍රී ලංකාව නැඹුරු වියයුතු යැයි මෙහිදී වඩාත් සඳහන් කර තිබීම විදේශ ආයෝජනයන්ගේ ව්‍යුහාත්මක වෙනස්කම්වල වැදගත්කමද අවධාරණය කරයි.

    අපනයන කර්මාන්තය ගැන සලකද්දී පාරශාන්තිකර සහයෝගීතා ගිවිසුම (Trans-Pacific Partnership) පිළිබඳව අධ්‍යනය කිරීමට අප විසින් කටයුතු කරනවා යැයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කිරීමේ ගැඹුරු අර්ථයක් තිබෙන අතර ඒ තුළින් නිදහස් වෙළඳාම සම්බන්ධයෙන් ඔහු තුළ තිබෙන චින්තනයත් ඉදිරි වසර වලදී විදේශ වෙළඳාම සම්බන්ධයෙන් සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳවත් ඉඟියක් සපයනු ඇත.
    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වත්මන් රජයේ මධ්‍යකාලීන ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් රට ගොඩනැගීම වෙනුවෙන් මෙවැනි පුළුල් ධනාත්මක ප්‍රතිසංස්කරණ මාලාවක් ඉදිරිපත් කිරීම පිළිබඳව මා ආඩම්බර වෙමි.

    ආචාර්ය හර්ෂ ද සිල්වා
    නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය