අඩුවට තෙල් දෙන බව ඉරාන තානාපති කියයි

    February, 1, 2016

    මේ වන විට ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩුවී තිබීමේ ප්‍රතිලාභය ශ්‍රී ලංකාවට ලබා දීමට තම උපරිමයෙන් කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ නව තානාපති මොහොමඩ් සෙයිරි අමිරාකි මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා මුණ ගැසුනු අවස්ථාවකදීය.

    ඉරානය වෙත පනවා තිබූ වෙළෙඳ හා ආර්ථික සම්බාධක මේ වන විට ඉවත් කර තිබෙන අතර මෙම තත්ත්වය තුළ දෙරට අතර ද්විපාර්ශවයීය වෙළෙඳාම පෙර පැවති තත්ත්වයටත් වඩා වැඩිදියුණු කිරීමට හැකිවෙතැයි තමා විශ්වාස කරන බව නව ඉරාන තානාපතිවරයා මෙහිදී කියා සිටියේය.

    2011 වසරේ දී ශ්‍රී ලංකාව හා ඉරානය අතර පැවති ද්විපාර්ශවික වෙළෙඳාමේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 1.6 ක් වූ අතර 2014 වසර වන විට මෙය ඩොලර් මිලියන 188 දක්වා පහත් වැටී තිබේ. ඉරානය ශ්‍රී ලංකාවේ ප්‍රධානතම තේ ගැනුම්කරුවා වන අතර ඉරානයට සිදුකරන මුළු අපනයනවලින් 89% ක්ම තේවලට හිමිවේ. ශ්‍රී ලංකාව ඉරානයෙන් සිදුකරන ආනයන අතර බොරතෙල් ප්‍රධාන වන අතර වසරකට බැරල් 50,000 ක් පමණ ඉරානයෙන් ආනයනය කරනු ලබයි.