අඩුවට හෙලිකොප්ටර් ටුවර් එකක් යන්න වට්ස්ඇප් පණිවුඩයක් ඔබටත් ආවාද?

    July, 17, 2024

    හෙලිකොප්ටර් සංචාරයක් සඳහා ලියාපදිංචි වෙන්නැයි සමාජ මාධ්‍ය හරහා ඔබට පණිවුඩයක් ලැබුනහොත් ඒ පිළිබඳව ඉතාමත් කල්පනාකාරී වන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවෙහි ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුවෙහි අධ්‍යක්ෂ වසන්ත අල්විස් මහතා පවසයි.

    ඔහු පෙන්වා  දෙන්නේ එවැනි පණිවිඩයක් මගින් වංචනික ලෙස ඔබගේ පෞද්ගලික තොරතුරු සොරකම් කිරීමේ ක්‍රියාවලියක් මෙම දිනවල සිදුවන බවයි.

    අද (17) පෙරවරුවේ විකාශය වූ අද දෙරණ

    මීට පෙර අවස්ථාවක දීද මෙයාකාරයේම තණකොළ කැපීමේ උපකරණයක දැන්වීමක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වූ අතර එයද වංචනික දැන්වීමක් බවත්, මේ වන විට එය මර්දනය කර ඇති බවත් අල්විස් මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

    ඔහු වැඩිදුරටත් පවසන්නේ මෙවැනි වංචනික ක්‍රියාවන් පිළිබඳව ජනතාවට සැලකිලිමත් වන ලෙසයි.

    "පහුගිය කාලේ අපට සාකච්ඡා වෙච්ච දෙයක් තමයි, තණකොළ කැපීමේ උපකරණයක දැන්වීමක් WhatsApp මාර්ගයෙන් එවනවා. මේ තණකොළ කැපීමේ උපකරණය මිල අඩුයි මේක මිල දී ගන්න කියලා. එතකොට මේක මගේ අවශ්‍යතාවයක්නේ. මට දැන් තණකොළ කපන මැෂින් එකක් ඕන. එතකොට මට දැන් මේක අඩුවටත් ලැබෙනවා. මාව නිකන්ම පෙළඹවෙනවා මේ තණකොළ කැපීමේ උපකරණය ලබා ගන්න. එතකොට එයා කරන්නේ මෙන්න මේ ලින්ක් එක උඩ ක්ලික් කරන්න කියලා කියනවා. අපි ඒක ක්ලික් කරලා අපි යනවා තොරතුරු දෙන්න. එතකොට අපි දන්නෙම නැහැ අපිට නොදැනුවත්වම අපේ Mobile Phone එකට අනවශ්‍ය Software  එකක් බාගත වෙනවා. නමුත් ජංගම දුරකතනයක් ගත්තත් ඔය ජංගම දුරකතනයටත් ආරක්ෂිත ක්‍රමවේද තියනවා. හැමතිස්සෙම ඔයාගෙන් අහනවා මේක කරන්න ද, කරන්න ද, කරන්න ද කියලා. අහලා තමයි ජංගම දුරකතනයක් වුනත් කිසියම් Software එක්ක Install කරන්න දෙන්නේ ජංගම දුරකතනයකට. අපි මොකද කරන්නේ ටක්ගාලා Yes Yes Yes කියලා දාගෙන යනවා. එතකොට වෙන්නේ අපේ ජංගම දුරකතනයක තියනවා Administrator කියලා එකක්. එයා තමයි ප්‍රධානියා. එතකොට මගේ ජංගම දුරකතනයේ ප්‍රධානියා මම. ඒක වෙන කෙනෙක් ගාව නැහැ. හැබැයි එතකොට මම අර administrative privileges  ටික දුන්නට පස්සේ අර මෘදුකාංගය අපි නොදැනුවත්වම ජංගම දුරකතනය ඇතුලත Install වෙනවා. ඒක Install වුනාම අපේ ජංගම දුරකතනයේ තියන දුරකතන අංක, අපේ අනිත් තොරතුරු ලබා ගන්න පුළුවන් වෙනවා. අනිත් දේ තමයි අපි දැක්කේ ඕක හරහා ජංගම දුරකතනය රිමෝට් කරලා දුරස්ථව පාලනය කිරීමේ හැකියාවක් ලැබෙනවා. එතකොට අපි දන්නේ නැහැ තවත් පුද්ගලයෙක් අපේ ජංගම දුරකතනය දුරස්ථව පාලනය කරනවා, ඒකේ සිද්ධ වෙන තොරතුරු බලා ගන්නවා කියලා. ඔන්න ඔය වංචාව පහුගිය ටිකේ ඉතාමත් තදින්ම කතාවට ලක්වුණා. හැබැයි අපේ ලංකාවේ තියනවා මූල්‍ය ක්ෂේත්‍රයට අදාල Financial Sector Computer Security Incidents Response Team කියලා වෙනම ආයතනයක් LankaPay ආයතනයේ පිහිටුවලා. ඒ ආයතනයට පුළුවන් වුණා මේක දැනගත්ත ගමන්ම එක පාරටම මර්දනය කරන්න. හැබැයි ඒක වෙනත් මුහුණුවරකින් පසුකාලීනව ආවා. අද වෙනකොට අපේ ආශාවන් පාවිච්චි කරලා, අපිට අද කොහේ හරි Tour එකක් යන්න ඕනෙනම් ඒක Helicopter Tour එකක් කරලා ඇවිත් තියනවා. මට ජනතාවට කියන්න ඕන ඔබ කොහේ හරි දැක්කොත් එහෙම Facebook එකේ හරි WhatsApp එකේ හරි දැන්වීමක් එහෙම හෙලිකොප්ටර් සංචාරයක් තියනවා, මේ සඳහා ලියාපදිංචි වෙන්න කියලා ඉතාමත් පරිස්සම් වෙන්න මේක වංචාවක් විය හැකියි."