අතර මගට ගිය පිටත වටරවුම් මාර්ගය අවසන් කඩුල්ල පනී

    September, 18, 2014

    පිටත වටරවුම් මාර්ගයෙන් කොට්ටාවේ සිට කටුනායක අධිවේගී මාර්ගය දක්වා ගමන් කිරීමට තවමත් හැකියාව ලැබී නෑ. ඒ මෙම මාර්ගයේ දෙවන කොටසේ හා තෙවන කොටසේ ඉදිකිරීම් අවසන් කර නොමැති නිසයි.

    කඩුවෙල සිට කඩවත දක්වා දෙවන කොටසේ ඉදිකිරීම් ආරම්භ කර තිබුණත් තෙවන කොටස වූ කඩවත සිට කෙරවලපිටිය දක්වා කොටසේ ඉදිකිරීම් ආරම්භ කිරීමට නොහැකිවූයේ ඒ සඳහා ණය පහසුකම් සම්පාදනය කර ගැනීමට නොහැකි වීමෙන්.

    පිටත වටරවුම් මාර්ගයේ තෙවන කොටස වන කඩවත සිට කෙරවලපිටිය දක්වා කිලෝ මීටර් 9.3 ක් වන කොටසේ ඉදිකිරීම් සඳහා ණය ලබාදීමට චීනය එකඟවූ අතර එයට අදාළ ගිවිසුම් වලට දෙරට අත්සන් කළා.

    මෙම ගිවිසුමට කොළඹදී අත්සන් කළේ මහා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර මහතා සහ චීන ආනයන-අපනයන බැංකුවේ සභාපති Li Ruogu මහතා විසින්.

    මෙම මාර්ගයේ තෙවන කොටස සම්පූර්ණ කිරීමෙන් පසුව දකුණු අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණෙන්නෙකුට කෙලින්ම කටුනායක දක්වාම ගමන් කළ හැකියි.

    පිටත වටරවුම් මාර්ගයේ සම්පූර්ණ දුර ප්‍රමාණය කිලෝ මීටර් 29.1 කි.