අද කොටස් වෙළෙඳපොළ: ඉතිහාසයේ ඉහළම තැන යළි අලුත් කළ දවසක්

    July, 15, 2025

    කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වුණු ඉහළම අගයේ වාර්තාව අද (15) දින නැවත වතාවක් අලුත් කරමින් දිනයේ ගනුදෙනු අවසාන වන විට එය ඒකක 18,946.27ක් දක්වා ඉහළ ගොස් තිබුණි. මෙය පෙර දිනයට සාපේක්ෂව ඒකක 107.88ක වැඩිවීමක් වේ.

    කෙසේවෙතත් අද පෙරවරුවේ ගනුදෙනු අතරවාරයේ දී ඉතිහාසයේ මුල් වතාවට ඒකක 19,000 සීමාව ඉක්මවා යාමට සියලු කොටස් මිල දර්ශකයට අවස්ථාව ලැබීම විශේෂ සිදුවීමකි.

    අද සමාගම් 96ක කොටස් මිල ගණන් ඉහළ ගොස් තිබූ අතර සමාගම් 123ක කොටස් මිල ගණන් පහළ ගොස් තිබුණි.

    එහි දී ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, කොමර්ෂල් බැංකුව, ඇක්සෙස් ඉන්ජිනියරිංග්, හේලීස් සහ LOLC හෝල්ඩිංග්ස් යන සමාගම් සියලු කොටස් මිල දර්ශකයේ හැසිරීමට ඉහළ ධනාත්මක දායකත්වයක් ලබා දී තිබුණි.

    අද ගනුදෙනු පිරිවැටුම වාර්තාවුනේ රුපියල් බිලියන 9.10ක් ලෙසයි.

    එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 8.95ක් හා දේශීය විකිණුම් රු. බිලියන 8.92 ක් ලෙසින් සටහන් වී තිබුණි.

    මේ අතර විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 151ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 177ක් ලෙසින් දිනය තුළ සටහන්ව ඇත.