March, 10, 2026
ඊයේ (09) දිනයේ දී ඒකක 700ක් ඉක්මවා පහළ ගිය කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය, අද පෙරවරුවේ මුල් පැය 2 තුළ දී ඒකක 400ක් ඉක්මවා ගිය වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්ව තිබුණි.
ගෝලීය ඛනිජ තෙල් මිල ගණන් සීඝ්ර ඉහළ යෑමක් ඊයේ (09) දින වාර්තා වූ අතර ඒත් සමඟම මැදපෙරදිග දිනෙන් දින උණුසුම් වන යුධමය වාතාවරණය හමුවේ ආසියානු කලාපයේ කොටස් වෙළෙඳපොළ රැසක් දිනය (09) තුළ දී කඩා වැටීමට ලක්විය.
එහිදී පකිස්තානු කොටස් වෙළෙඳපොළෙ ඉතිහාසයේ දෙවැනියට විශාලතම කඩා වැටීමට ඊයේ (09) දින ලක්වූ අතර එහි දෛනික ගනුදෙනු අත්හිටුවීමක් ද වාර්තා වී තිබුණි.
මේ අතර අද පෙරවරු 11.30 පමණ විට මුල් පැය දෙක තුළ දී මෙරට එකම කොටස් වෙළෙඳපොළ වන කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්රධාන මිල දර්ශකය ඒකක 443ක වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්ව තිබුණු අතර රු. බිලියන 2 ඉක්ම වූ දෛනික පිරිවැටුමක් ඒ වන විට වාර්තා වී තිබුණි.
ගෝලීය වශයෙන් ඛනිජ තෙල් මිල ගණන් අද (10) දිනයේ දී යළි පහළ යාමක් වාර්තා වීමත් ඇමරිකානු ජනාධිපතිවරයා විසින් මැදපෙරදිග යුද්ධය ඉක්මනින් අවසන් කරනු ලබන කළ ප්රකාශයත් හේතුවෙන් මේ වන විට ඇති වී තිබෙන සුභවාදී වාතාවරණය හමුවේ මෙරට ආයෝජකයින් ද මෙලෙස ප්රතිචාර දක්වමින් ඇති බව කොටස් වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කර සිටී.
Video Story