September, 13, 2024
අද (13) දින විවෘත කිරීමට නියමිතව තිබුණු LTL හෝල්ඩිංග්ස් සමාගමේ මූලික මහජන කොටස් නිකුතුව, සැලසුම් කළ පරිදි අද දින විවෘත නොකරන ලෙස කොළඹ කොටස් වෙළෙඳපොළ දැනුම් දී තිබේ.
මෙම මූලික මහජන කොටස් නිකුතුව ප්‍රකාශයට පත් කරන ලද අවස්ථාවේ එය 2024 සැප්තැම්බර් 10 වන දින විවෘත කෙරෙන බව නිවේදනය කළ අතර පසුව එය අද, එනම් සැප්තැම්බර් 13 වන දින විවෘත කෙරෙන බව නිවේදනය කෙරුණි.
කෙසේවෙතත් අද පෙරවරුවේ කොළඹ කොටස් වෙළෙඳපොළ උප සභාපතිනි - ලැයිස්තුගත කිරීම්, කනිෂ්කා මුණසිංහ විසින් වෙළෙඳ සහභාගික ආයතනවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත දැනුම් දීමක් කරමින් පවසන්නේ, අද දින මෙම මූලික කොටස් නිකුතුව විවෘත නොකරන ලෙස LTL හෝල්ඩිංග්ස් වෙත දැනුම් දුන් බවයි.
මෙම නිකුතුවට අදාළ නව වැදගත් තොරතුරු කිහිපයක් තවදුරටත් අනාවරණය කළ යුතු බවත්, ඒවා සංස්ථා ප්‍රකාශයට ඇතුළත් විය යුතු බවටත්, කොළඹ කොටස් වෙළෙඳපොළ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තීරණය කර ඇති බව මෙහිදී වැඩිදුරටත් වාර්තා වේ.
මෙය එතෙක් මෙතෙක් ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ විශාලතම මූලික මහජන කොටස් නිකුතුව වන අතර එහිදී, රු, බිලියන 16 ක වටිනාකමකින් යුත් මෙම කොටස් නිකුතුව යටතේ, කොටසක් රු. 14.50 බැගින් නව සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 1,379,310,400 ක් නිකුත් කෙරෙනු ඇති අතර, අවශ්‍ය නම් මෙය රු. බිලියන 20 දක්වා වැඩිකර ගැනීම සඳහා Greenshoe විකල්පය ද සහිතව කොටස් නිකුතුව සැලසුම්කර ඇත.
මෙම කොටස් නිකුතුවේ ආයෝජනයෙන් රු. බිලියන 13.5 ක්, ශ්‍රී ලංකාවේ ඉදිවන දෙවැනි LNG බලාගාරයවන කෙරවළපිටිය (Sahasdhanavi Ltd) මෙගාවොට් 350 ඒකාබද්ධ-චක්‍ර බලාගාරය ඉදිකිරීම සඳහා අවශ්‍ය සමස්ත ආයෝජනයෙන් කොටසක් ලෙස භාවිතා වනු ඇත. මීට අමතරව මෙම අරමුදල්වලින් රු. බිලියන 6.0 ක්, මෙගාවොට් 100 ව්‍යාපෘතියක්වන සියඹලාණ්ඩුව සූර්ය බලශක්ති ව්‍යාපෘතියේ (Rividhanavi (Pvt) Ltd) කොටස් ප්‍රාග්ධනයේ ආයෝජනය කෙරේ.
ශ්‍රී ලංකාව, බංගලාදේශය සහ නේපාලය යන රටවල LTL සමූහයේ බලශක්ති නිෂ්පාදන ධාරිතාව මෙගාවොට් 894 ක්වන අතර, ඉදිරියේදී තවත් මෙගාවොට් 450 ක ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමට නියමිත ය. මේ ඔස්සේ ඉදිරියේදී මෙගාවොට් 1,000 ඉක්මවූ ධාරිතාවක් සහිත ශ්‍රී ලංකාවේ ප්‍රථම විශාලතම ස්වාධීන බලශක්ති නිෂ්පාදකයා බවට පත්වීමට LTL සමූහය සමත් වනු ඇත. ඒ අනුව එය කොළඹ කොටස් වෙළඳපොළේ ලියාපදිංචිවන විශාලතම ස්වාධීන බලශක්ති නිෂ්පාදන සමූහය බවට මෙය පත් වේ.
