May, 28, 2025
ශ්රී ලංකා මහ බැංකුවේ රාජ්ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (28) දින කැඳවා තිබුණු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොලී අනුපාතිකවල කැපීපෙනෙන පහළ යාමක් වාර්තා වී තිබේ.
එහිදී දින 91 බිල්පත් පොලිය 7.65% සිට 7.55% ක් දක්වා පදනම් අංක 10කින් සහ දින 182 බිල්පත් පොලිය 7.97% සිට 7.77% දක්වා පදනම් අංක 20කින් පහළ ගොස් තිබේ.
මේ අතර දින 364 බිල්පත් පොලිය 8.29% සිට 7.98% ක් දක්වා පදනම් අංක 31කින් පහළ ගොස් ඇත.
අද දින වෙන්දේසිය සඳහා රු. මිලියන 162,500 ක බිල්පත් ප්රමාණයක් ඉදිරිපත් කර තිබුණු අතර රු. මිලියන 375,302 ක ලංසු ප්රමාණයක් ඒ සඳහා ලැබී තිබුණි.
වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබුණු ප්රමාණයට සමපාත වන අයුරින් රු. මිලියන 162,500 ක ලංසු ප්රමාණයක් එහිදී අනුමත කිරීමට ශ්රී ලංකා මහ බැංකුවේ රාජ්ය ණය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ පසුගිය මැයි 21 පැවති මුදල් ප්රතිපත්ති මණ්ඩල රැස්වීමේ දී, මුදල් ප්රතිපත්තිය තවදුරටත් ලිහිල් කරමින් එක්දින ප්රතිපත්ති පොලී අනුපාතිකය 7.75%ක් දක්වා පදනම් අංක 25කින් අඩු කිරීමට ගත් තීරණයේ ප්රතිඵලයක් ලෙසින් මෙලෙස භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික පහළ ගොස් ඇති බවයි.

Video Story