අධ්‍යාපනය, කුසලතා සහ වෘත්තීය ගමන්මගෙහි දොරටු විවර කරන EDEX Expo 2026

    January, 7, 2026

    ශ්‍රී ලංකාවේ දැවැන්තම අධ්‍යාපන ප්‍රදර්ශනය සහ රැකියා වෙළඳපොළ වන EDEX Expo 2026, එළඹෙන ජනවාරි මාසයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිතය. සිසුන්ට, දෙමාපියන්ට, වෘත්තිකයන්ට මෙන්ම ව්‍යවසායකත්වයට නැඹුරු වන්නන්ට තම අනාගතය විශ්වාසයෙන් යුතුව සැලසුම් කරගැනීම සඳහා මෙහිදී අසමසම අවස්ථාවන් රැසක් හිමිවේ. 2004 වසරේ සිට රාජකීය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන EDEX, 'ගෝලීය වශයෙන් තරඟකාරී ශ්‍රී ලාංකීය තරුණ පරපුරක් සවිබල ගැන්වීම' යන ප්‍රබල දැක්ම පෙරදැරි කරගත් විශ්වාසනීය ජාතික වේදිකාවක් ලෙස වර්ධනය වී ඇත.

    ප්‍රදර්ශනය 2026 ජනවාරි 16, 17 සහ 18 යන දිනවල කොළඹ BMICH හිදී ද, ඉන් අනතුරුව ජනවාරි 24 සහ 25 යන දිනවල මහනුවර City Centre හිදී ද පැවැත්වේ. මෙම ස්ථාන දෙකෙහිදීම පෙරවරු 9.30 සිට පස්වරු 6.00 දක්වා මහජනතාව සඳහා ප්‍රදර්ශනය විවෘතව පවතී. ඉන්දීය මහකොමසාරිස් අතිගරු සන්තෝෂ් ජා මහතා විසින් කොළඹ ප්‍රදර්ශනය නිල වශයෙන් විවෘත කිරීමට නියමිත අතර, එය මෙම උළෙලේ ඇති ජාත්‍යන්තර වැදගත්කම මැනවින් පිළිබිඹු කරයි. නොමිලේ ඇතුළුවීමට අවස්ථාව සලසා දෙමින්, EDEX Expo ප්‍රදර්ශනය රජයේ විශ්වවිද්‍යාල, වෘත්තීය සහ තාක්ෂණික ආයතන, ප්‍රමුඛ පෙළේ රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන සහ කීර්තිමත් විදේශීය විශ්වවිද්‍යාල රැසක් එකම ස්ථානයකට ගෙන එන බැවින්, තීරණ ගැනීම සඳහා අවශ්‍ය මඟපෙන්වීම සහ අවකාශය මෙහිදී හිමිවේ.

    මෙවර ප්‍රදර්ශනය සඳහා අධ්‍යාපන ආයතන 150කට අධික සංඛ්‍යාවක් සහ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ආයතන 15ක් සහභාගී වන අතර, කැනඩාව, ප්‍රංශය, ජපානය, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවලින් ජාත්‍යන්තර අධ්‍යාපන අවස්ථා ද පිරිනැමේ. දේශීය විශ්වවිද්‍යාල හරහා නවසීලන්තය, චීනය, එක්සත් රාජධානිය, එක්සත් ජනපදය සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථා පිළිබඳ තොරතුරු දැන ගැනීමට ද සිසුන්ට අවස්ථාව හිමිවේ. අධ්‍යාපන අවස්ථා වලට අමතරව, EDEX රැකියා වෙළඳපොළ හරහා තොරතුරු තාක්ෂණ, බැංකු, මාධ්‍ය සහ සූපශාස්ත්‍ර වැනි ක්ෂේත්‍රවල ප්‍රමුඛ පෙළේ සමාගම් සමඟ සම්මුඛ පරීක්ෂණවලට සහභාගී වී ක්ෂණිකව රැකියා අවස්ථා ලබාගැනීමේ හැකියාව ද පවතී.

    දශක දෙකකට වැඩි කාලයක් පුරාවට EDEX හුදු ප්‍රදර්ශනයක් පමණක් නොවී ජාතික සංවර්ධනය උදෙසා වූ ව්‍යාපාරයක් විය. EDEX Careers, EDEX Job Fair, EDEX Think Green, EDEX Sithuwam සහ EDEX Nenapahana වැනි වැඩසටහන් හරහා අධ්‍යාපනය, කුසලතා සංවර්ධනය සහ වෘත්තීය දියුණුව සඳහා තිරසාර මාවත් නිර්මාණය කෙරේ. මෙවර EDEX Careers හරහා පවත්වන 'Career Key' මනෝමිතික පරීක්ෂණය මඟින් පුද්ගලයන්ගේ දක්ෂතා සහ රුචිකත්වයන්ට ගැළපෙන වෘත්තීය මාවත් හඳුනාගැනීමට සහාය වන අතර, එමඟින් අර්ථවත් වෘත්තීය ජීවිතයක් ගොඩනඟා ගැනීමට මඟ පෙන්වනු ලබයි.

    EDEX Expo 2026 ප්‍රදර්ශනය සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය, කම්කරු අමාත්‍යාංශය සහ පරිසර අමාත්‍යාංශය යන ආයතනවල පූර්ණ අනුමැතිය සහ සහාය හිමිව ඇති අතර, එමඟින් මෙහි ඇති ජාතික වැදගත්කම තවදුරටත් තහවුරු වේ. ලංකා සේවා යෝජකයන්ගේ සම්මේලනය, ලංකා වාණිජ මණ්ඩලය සහ ලංකා වෘත්තීය මාර්ගෝපදේශන සංගමය මෙහි උපායමාර්ගික හවුල්කරුවන් ලෙස කටයුතු කරන අතර, එය ක්ෂේත්‍රයේ අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි වෘත්තීය කුසලතා වර්ධනය කිරීමටත්, රැකියා අවස්ථා ඉහළ නැංවීමටත් මනා පිටිවහලක් වේ.

    EDEX ප්‍රදර්ශනයේ ප්‍රධානතම සමාජ වගකීම් ව්‍යාපෘතිය වන EDEX Nenapahana, අධ්‍යාපනය, සමාජය සහ පරිසරය යන අංශවල තිරසාර සංවර්ධනය කෙරෙහි අඛණ්ඩව අවධානය යොමු කරයි. ග්‍රාමීය පාසල්වලට පොත්පත් පරිත්‍යාග කිරීම, තොරතුරු තාක්ෂණ විද්‍යාගාර පිහිටුවීම සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම හරහා ශ්‍රී ලාංකීය සිසුන් සවිබල ගැන්වීමට Nenapahana ක්‍රියාකාරීව දායක වේ. නිසි සෞඛ්‍යය යනු සාර්ථක ඉගෙනීමකට අත්‍යවශ්‍ය පදනම බව වටහා ගනිමින්, මෑතකදී රාජකීය විද්‍යාලයීය වෛද්‍යවරුන්ගේ සංගමය සමඟ එක්ව කැකිරාව අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික සිසුන්ගේ ශ්‍රවණාබාධ හඳුනාගැනීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කරන ලදී. මීට අමතරව, මෙවර Nenapahana ව්‍යාපෘතිය දෘශ්‍ය හා ප්‍රසාංගික කලා විශ්වවිද්‍යාලය සමඟ අත්වැල් බැඳගෙන ඇති අතර, ඒ හරහා මැටි භාණ්ඩ නිර්මාණය, මූර්ති කලාව, චිත්‍ර ඇඳීම සහ තිර මුද්‍රණය වැනි කලා කුසලතා සජීවීව ප්‍රදර්ශනය කිරීමට සිසුන්ට අවස්ථාව උදා කර දී ඇත. දරුවන්ගේ අධ්‍යාපනයට දෙමාපියන්ගෙන් ලැබෙන සහයෝගය ශක්තිමත් කිරීම සඳහා මාර්ගගත වැඩසටහන් මාලාවක් ද හඳුන්වා දී ඇති අතර, එහි පළමු සැසිය ළමා හා යොවුන් මනෝ වෛද්‍ය මහාචාර්ය මියුරු චන්ද්‍රදාස මහතාගේ සහභාගීත්වයෙන් ජනවාරි 3 වන දින සාර්ථකව පවත්වන ලදී.

    අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතිය ඇතිව පවත්වනු ලබන '2026 සමස්ත ලංකා චිත්‍ර තරඟය' හරහා සිසුන්ගේ නිර්මාණශීලීත්වය පෝෂණය කිරීමට EDEX Sithuwam වැඩසටහන අඛණ්ඩව කැපවී සිටී. දිවයින පුරා විසිරී සිටින සිසුන්ගෙන් නිර්මාණ 10,000කට අධික ප්‍රමාණයක් මේ සඳහා ලැබී ඇති අතර, සියලු දෙනාටම සම අවස්ථා ලබාදීමක් ලෙස ශ්‍රවණාබාධ සහිත ප්‍රජාව සඳහා වෙන්වූ විශේෂිත තරඟ අංශයක් ද මෙවර අඛණ්ඩව තෙවන වසරටත් පවත්වනු ලබයි. එමෙන්ම, දිනෙන් දින දියුණු වන තාක්ෂණික ලෝකයට ගැළපෙන පරිදි, කෘත්‍රිම බුද්ධිය ඵලදායී සහ නිර්මාණශීලී ලෙස භාවිතා කිරීමට සිසුන් දිරිමත් කිරීම උදෙසා 'AI ආශ්‍රිත චිත්‍ර තරඟය' ද මෙවර දෙවන වරටත් පවත්වනු ලැබේ.

    Think Green සහ ව්‍යවසායකත්ව කණ්ඩායම් එක්ව, ගෝලීය වශයෙන් නැඟී එන හරිත ආර්ථිකයට දායක වීමට තරුණ ව්‍යවසායකයන් සවිබල ගැන්වීම අරමුණු කරගත් ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරයි. ව්‍යාපාර උපදේශකයන්, ව්‍යවසායකත්ව සංවර්ධනයට සහාය දෙන රජයේ ආයතන, මූල්‍ය ආයතන, ISO උපදේශකයන් සහ ERP තාක්ෂණික සේවා සපයන්නන් එක්ව සම්පූර්ණ ව්‍යවසායකත්ව සංවර්ධනය ක්‍රියාවලිය සඳහාම අවශ්‍ය මඟ පෙන්වීම මෙම වැඩසටහන හරහා ලබාදෙනු ඇත. එමඟින් ශ්‍රී ලාංකීය තරුණ පරපුර සහ දැනට සිටින ව්‍යවසායකයන් විසින් ඉදිරිපත් කරනු ලබන ව්‍යාපාරික සංකල්ප තිරසාර ලෙස වර්ධනය කිරීමට අවශ්‍ය සහාය හිමිවේ.

    ප්‍රදර්ශනයේ වැදගත්කම පිළිබඳව අදහස් දක්වමින් EDEX සභාපති මහින්ද ගලගෙදර මහතා මෙසේ පැවසීය. "තරුණ සිසුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට තම අනාගතය පිළිබඳ වැදගත් තීරණ ගන්නා අවධියේ දී නිවැරදි මඟපෙන්වීම ලබාදීම EDEX හි පදනමයි"

    මෙම උත්සවය පිළිබඳව අදහස් දක්වමින් ව්‍යාපෘති සභාපති සුමේධ කරුණාරත්න මහතා මෙසේ ප්‍රකාශ කළේය. "ඔබ සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ හදාරන සිසුවෙකු වුවද, තම දරුවා ඊළඟ මට්ටමට යොමු කරන දෙමාපියෙකු වුවද, නැතහොත් වෘත්තීය වෙනසක් අපේක්ෂා කරන පුද්ගලයෙකු වුවද, EDEX විසින් ඔබ වෙත ගෙන එනු ලබන වටිනා අවබෝධය සහ අවස්ථාවන් තුළින් ඔබේ ජීවිතයට සැබෑ ධනාත්මක බලපෑමක් ඇති කරනු ඇත."

    වැඩිදුරටත් අදහස් දක්වමින් ව්‍යාපෘති ලේකම් නඳුන් හෙට්ටිආරච්චි මහතා පැවසුවේ, "EDEX යනු හුදු ප්‍රදර්ශනයක් පමණක් නොවේ. එය පැමිණෙන පිරිසට ක්‍රියාකාරීව සම්බන්ධ වීමටත්, ප්‍රශ්න ඇසීමටත් සහ තම අනාගතය පිළිබඳව දැනුවත්ව අදාළ තෝරාගැනීමේ සිදු කිරීමටත් දිරිමත් කරන, පුද්ගලයන් සවිබල ගන්වන වේදිකාවකි." යනුවෙනි.

    නිවැරදි තොරතුරු, නිසි මඟපෙන්වීම සහ ශක්තිමත් සම්බන්ධතා ජාලයක් අත්‍යවශ්‍ය වන වර්තමාන යුගයේදී, EDEX Expo 2026 යනු ඔබේ අනාගතය ගවේෂණය කිරීමට සහ සවිබල ගැන්වීමට ඇති වඩාත්ම සාර්ථක ජාතික වේදිකාවයි. ගෝලීය වශයෙන් තරඟකාරී දීප්තිමත් අනාගතයක් කරා යන පළමු පියවර තැබීමට ඔබත් අදම EDEX සමඟ එක්වන්න.