අධි ආරක්ෂක කළාප යටතේ වන ඉඩම් හා දේපළ නිදහස් කෙරේ

    February, 13, 2015

    කොළඹ ජනාධිපති මන්දිරය අසල අධි ආරක්ෂිත කලාපයේ පිහිටි ගොඩනැඟිලි හා අරලියගහ මන්දිරය අවට පිහිටි දැනට ආරක්ෂක අංශ භාරයේ පවතින ගොඩනැඟිලි නිදහස් කිරීමට රජය විසින් තීරණය කර තිබේ.

    මීට අමතරව, යුද සමයේ හමුදා පාලනය යටතේ තිබූ අක්කර 11,639 ක ඉඩම් ප්‍රමාණයෙන් විශාල ඉඩම් ප්‍රමාණයක් මේ වනවිට නිදහස් කර ඇති බවත් පලාලි ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පාලනය යටතේ අක්කර 6,152 ක භූමිභාගයක් දැනට අධි ආරක්ෂිත කලාපයක් ලෙස පවත්වාගෙන යන බවත් රජය සඳහන් කරයි.

    එම අධි ආරක්ෂිත ප්‍රදේශයෙන් තවත් අක්කර 1,000 ක් අදියර වශයෙන් නිදහස් කිරීමට හා එහි පළමු අදියර වශයෙන් වලිකාමම් නැ‍ඟෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජේ 284-වලලායි ග්‍රාම නිලධාරි වසමේ පිහිටි අක්කර 220 ක් යුද්ධයෙන් අවතැන් වූ පවුල් 1,022 ක් නැවත පදිංචි කිරීම පිණිස ආදර්ශ ගම්මානයක් පිහිටුවීම සඳහා නිදහස් කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

    මේ යටතේ එක් පවුලක් සඳහා පර්චස් 20 ක ඉඩම් කොටසක් සහ නිවාස ඉදි කිරීමට අවශ්‍ය ආධාරද ලබා දීමට නියමිත අතර, පාසලක්, පෙර පාසලක්, රෝහලක්, ආගමික ස්ථාන, ප්‍රජා ශාලා සහ අනෙකුත් යටිතල පහසුකම් ඇති කිරීමටඅද යෝජිතය. නිදහස් කිරීමට අපේක්ෂිත ඉතිරි අක්කර 780 ද යුද්ධයෙන් අවතැන්වූවන් නැවත පදිංචි කිරීම පිණිස යොදා ගැනීම පිණිස ඉදිරියේදී කටයුතු කරනු ඇත.

    නැ‍ඟෙනහිර පළාතේ පානම ප්‍රදේශයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පාලනය යටතේ පවතින ඉඩම්වලින්, දැනට ඉදි කෙරෙමින් පවතින ගොඩනැඟිලි ආශ්‍රිත අක්කර 25 ක භූමිභාගය හැර, ඉතිරි ඉඩම්, ප්‍රදේශයේ ඉඩම් නොමැති අයට ලබා දීමට හැකි වන පරිදි නිදහස් කිරීමටද රජය තීරණය කර තිබේ.