අපනයන සංවර්ධන මණ්ඩල වෙබ් අඩවියෙන් අපනයන දත්ත සජීවීව

    July, 11, 2016

    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය එළිදක්වනු ලබන, 2015 වසරට අදාල අපනයන අගයන් පිළිබඳ වාර්ෂික වාර්තාව දැන් නිකුත් වී තිබේ. මෙරට නිෂ්පාදන සහ සේවා අපනයන කරුවන් සඳහා පහසුකම් සලසන්නාවූ ප්‍රමුඛතම රාජ්‍ය ආයතනය වන එම මණ්ඩලය මෙම වාර්තාව වාර්ෂිකව නිකුත් කරනු ලබන අතර නොමිලයේ පරිශීලනය වෙනුවෙන් මෙවර එය දෙවන වරටත් අන්තර්ජාලයට එක් කර තිබීම විශේෂත්වයකි.

    අපනයන සංවර්ධන මණ්ඩලයේ වෙබ් බිහි දොර වන www.srilankabusiness.com හරහා අපනයන දත්ත අන්තර්ජාලයට නිකුත් කර ඇති අතර, http://stat. srilankabusiness.com/epi2015 හරහා අදාල දත්ත සඳහන් වෙබ් පිටුව සඳහා සෘජුව සම්බන්ධ වීමට අවස්ථාව හිමි වේ.

    ගාස්තු අය කිරීමෙන් තොරව මෙම දත්ත ලබාගත හැකි අතර, සාමාන්‍ය කොටස් කිරීමේ සිට වඩා ගැඹුරු කොටස් කිරීමේ තලයන් දක්වා පරාසයක මෙම දත්ත අන්තර්ගත කර ඇති බැව්ද එම මණ්ඩලයේ ප්‍රතිපත්ති හා උපාය මාර්ගික සංවර්ධන අංශය පවසයි.

    2015 න් අවසන් වූ දශකයක කාල පරිච්ඡේදයක් පුරා ශ්‍රී ලංකාවේ අපනයන ආදායම් සහ ප්‍රවණතාවයන්, ප්‍රධාන නිෂ්පාදන ක්ෂේත්‍රයන් සහ උප ක්ෂේත්‍රයන්... වෙළඳපොල අනුව, වෙළඳපොල සාන්ද්‍රතාවය සඳහා නිෂ්පාදන විවිධාංගීකරණය පිළිබඳ අධ්‍යයනයන්ද, ශ්‍රි ලංකාවේ අපනයන නිෂ්පාදකයන්ගේ ගෝලීය ඉල්ලුම පිළිබඳ වත්මන් ප්‍රවණතාවන් හා උසස් තාක්ෂණයෙන් යුතු අපනයන නිෂ්පාදන සහ අනෙකුත් අපනයනයේ අදාල තොරතුරුද මෙම නවතම මුද්‍රණයේ අන්තර්ගතය.