අපි දන්නේ නැහැ – සිලෝන් බෙවරේජ් කියයි

    December, 13, 2024

    ඊයේ (12) දිනයේ දී තම සමාගමේ කොටස් මිල අසාමාන්‍ය ලෙස ඉහළ යාමට හේතු වශයෙන් අනාවරණය නොකරන ලද කිසිදු මිල සංවේදී තොරතුරක් නොමැති බව කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වන සිලෝන් බෙවරේජ් හෝල්ඩිංග්ස් පීඑල්සී පවසයි.

    කොළඹ කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු මෙහෙයුම් හා වෙළෙඳපොළ ආවේක්ෂණ අංශය විසින් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් එම සමාගම වෙනුවෙන් සමාගම් ලේකම්වරයා විසින් මේ බව සඳහන් කරයි.

    පසුගිය දෙසැම්බර් 10 වන දින ගනුදෙනු අවසානයේ දී රු. 2,200.30 ක්ව පැවති සිලෝන් බෙවරේජ් හෝල්ඩිංග්ස් සමාගමේ කොටසක මිල, දෙසැම්බර් 11 දින රු. 2,818.30 ක් දක්වා රු. 648.00 කින් ඉහළ ගොස් තිබුණු අතර ඊයේ (12) දිනයේ දී එය රු. 3,630.80 ක් දක්වා රු. 782.50 කින් වැඩි වී තිබුණි. මේ අතර ඊයේ දිනයේ දී රු. 4,000.00 ක් තරම් ඉහළ මිලකට ද සිලෝන් බෙවරේජ් හෝල්ඩිංග්ස් හි කොටස් ගනුදෙනු වී ඇති බව කොටස් වෙළෙඳපොළ වාර්තා පෙන්වා දේ.

    කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් සිලෝන් බෙවරේජ් හෝල්ඩිංග්ස් වැඩිදුරටත් පවසන්නේ ඊයේ (12) දිනයේ ගනුදෙනු වී ඇත්තේ කොටස් 380 ක් පමණක් බවත්, එය සමාගමේ සමස්ත සාමාන්‍ය කොටස් ප්‍රමාණය වන 20,988,090 හා සැසඳීමේ දී 0.0018% ක තරම් ප්‍රමාණයක් පමණක් බවත්ය.

    මෙහිදී සමාගම වැඩිදුරටත් කියා සිටින්නේ මෙලෙස සමාගමේ කොටස් මිලේ ඉහළ විචලනයන් සිදුවීමට හේතුවක් තමන් නොදන්නා බවයි.

    ඊයේ (12) සහ බදාදා (11) යන දිනයන් දෙකෙහිදීම කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනය සඳහා ඉහළම දායකත්වය ලැබී තිබුණේ සිලෝන් බෙවරේජ් හෝල්ඩිංග්ස් පීඑල්සී කොටස් මිල ඉහළ යාම තුළිනි.