අපේ කොන්ත්‍රාත් කරුවන්ට සීෂෙල්ස් වරම්

    August, 28, 2014

    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ සීෂෙල්ස් රාජ්‍යයේ ආයෝජන මණ්ඩලය අතර අද පෙරවරුවේ කොළඹදී අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ අතර ඒ තුළින් මෙරට කොන්ත්‍රාත්කරුවන්ට සීෂෙල්ස් රාජ්‍යයේ ව්‍යාපාරික අවස්ථාවන් ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

    මෙම අවස්ථාවට සහභාගී වූ සීෂෙල්ස් රාජ්‍යයේ වෙළඳ හා ආයෝජන අමාත්‍ය පියරේ ලැපෝර්ට් (pierre Laporte) සඳහන් කළේ මේ වනවිටත් ලංකා බැංකුව, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා සන්කන් ඉදිකිරීමේ සමාගම එරට ව්‍යාපාරික කටයුතු සිදුකරන බවයි.

    දෙරට අතර ආයෝජන ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයක් ඇති කිරීමට අපේක්ෂා කරන මෙම ගිවිසුම මගින් දෙරට අතර ආර්ථික හා වෙළඳ ක්ෂේත්‍රයන්ගේ තොරතුරු හුවමාරු කර ගැනීමට, දෙරටේ ආයෝජකයින් සඳහා ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශන හා සම්මන්ත්‍රණ පැවැත්වීමට එකඟවී ඇත.

    මීට අමතරව, ශ්‍රම බලකායේ ගුණාත්මක වර්ධනය සඳහා සම්මන්ත්‍රණ, පුහුණු, වැඩමුළු හා ඵලදායිතා වර්ධනය සඳහා වැඩමුළු පැවැත්වීමද මෙම ගිවිසුමට අනුව සිදුකරන බව සඳහන්ය.
    see