September, 19, 2014
ඩොලර් මිලියන 6.9 ක් ආයෝජනය කරමින් එල්.පී. ගෑස් ප්‍රවාහනය කිරීම සඳහා ලාෆ්ස් සමාගම විසින් ලබාගන්නා නෞකාව ඇනවුම් කර තිබෙන බවත් එය තවත් නොබෝ දිනකින්ම සමාගමට ලැබෙනු ඇති බවත් ලාෆ්ස් සමාගම් සමූහයේ සභාපති, ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය මහතා අප සමග සඳහන් කළේය.
යුරෝපයෙන් ඇනවුම් කර තිබෙන මෙම නෞකාවේ වරකට එල්.පී. ගෑස් මෙට්‍රික් ටොන් 7000 ක් පමණ ප්‍රවාහනය කළ හැකි බවත් සමාගමේ ගෑස් ව්‍යාපාරික කටයුතු සඳහා මෙය යොදාගන්නා බවත් හෙතෙම කීය.
“මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ ලංකාව නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට සැලසුම් කර තිබෙනවා. එයට සහයෝගයක් තමයි ලාෆ්ස් සමාගම මේ තුළින් ලබාදී තිබෙන්නේ. මෙම නෞකාව මගින් එල්.පී. ගෑස් පිට රටවල සිට අපිම ගේනවා. අනාගතයේදී කළාපයේ වෙනත් රට වලටත් මෙයින් සේවා සැපයීමට අවස්ථාව ලැබෙන්න පුළුවන්.“
යනුවෙන් වෑගපිටිය මහතා පැවසීය.
වෑගපිටිය මහතා පසුගියදා කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබුණේ එල්.පී. ගෑස් ප්‍රවාහනය කරන නෞකාවක් මිලදීගැනීමට මූලිකව ඩොලර් මිලියන 6.9 ක් ආයෝජනය කරමින් නව ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ලාෆ්ස් ගෑස් සමූහය කටයුතු කර තිබෙන බවයි.
Gas Puffer යනුවෙන් හඳුන්වන මෙම නෞකාව Gas Challenger යනුවෙන් නම්කර එය ශ්‍රී ලංකා ධජය යටතේ ලියාපදිංචි කිරීමට සැලසුම් කර ඇත.
එහිදී, වෑගපිටිය මහතා සඳහන් කළේ ජාත්‍යන්තර වරාය හා සමුද්‍රීය සේවා ව්‍යාපාර වලට ඒකාබද්ධවීම සඳහා ලාෆ්ස් ගෑස් පී.එල්.සී. සමාගම ලාෆ්ස් මැරිටයිම් සර්විසස් ප්‍රයිවට් ලිමිටඩ් යන නාමය යටතේ සමූහයට පූර්ණ අනුබද්ධ නව ආයෝජන මණ්ඩල සමාගමක් ආරම්භ කළ බවයි.
මේ අනුව, මෙම නව සමාගම විසින් එල්.පී. ගෑස් ප්‍රවාහනය කරන නෞකාද ඇතුළත්ව විවිධ වූ බලශක්ති නිෂ්පාදන ප්‍රවාහනය කරන විවිධ ප්‍රමාණයේ හා විවිධ වර්ගයේ නෞකා මිලදී ගැනීමට, මෙහෙයවීමට හා කුලියට ගැනීමට අදහස් කර තිබේ.
ලංකාවේ එල්.පී. ගෑස් වෙළඳ පොළේ දෙවන විශාලතම සමාගම ලාෆ්ස් වන අතර මුලින් ෂෙල් සමාගම යටතේ තිබී පසුව රජය විසින් මිලදීගෙන ලිත්රෝ නමින් ව්‍යාපාරික කටයුතු කරන සමාගම විශාලතම සමාගමයි.
Video Story