අපේ සමහර ඡන්ද අපේක්ෂකයින්ගේ වියදම මිලියන 100 යි

    March, 31, 2014

    බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණයේදී අපේක්ෂකයින් සැලකිය යුතු ප්‍රමාණයක් මැතිවරණය සඳහා එක් අපේක්ෂකයෙකු විසින් රුපියල් මිලියන 50 කට වැඩි මුදලක් වියදම් කර ඇතැයි අනාවරණය වේ.

    මැතිවරණය සඳහා ඉදිරිපත් වී ජයගත් ප්‍රබල අපේක්ෂකයින් කිහිප දෙනෙකු සමග අප පැවැත්වූ විශ්ලේෂණාත්මක සාකච්ඡා වලදී මේ බව හෙළිවූ අතර සමහර අපේක්ෂකයින් රුපියල් මිලියන 100 කට ආසන්න මුදල් වියදම් කර ඇතැයි සිතිය හැකි අවස්ථාද තිබෙන බව ඔවුන් සඳහන් කළේය.

    රූපවාහිනී, පුවත් පත්, ගුවන් විදුලි සහ අන්තර් ජාල දැන්වීම් පළ කිරීම, ආධාර කරුවන්ට කෑම, මත්පැන් සහ ප්‍රවාහන කටයුතු ලබාදීම, කටවුට් හා පෝස්ටර් ප්‍රදර්ශනය කිරීම මෙම වියදම් වලින් සමහරකි.

    බස්නාහිර පළාත් සභාවට මෙවර තරග කළ අපේක්ෂකයින් 15 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් මෙවර රුපියල් මිලියන 50 කට වැඩි මුදලක් වියදම් කරන්නට ඇතැයි මෙහිදී හෙළිවුණි.

    දකුණු පළාතේ රුපියල් මිලියන 50 කට ආසන්න මුදලක් වියදම් කළ අපේක්ෂකයින් ප්‍රමාණය බස්නාහිර පළාතට වඩා අඩුබව පෙනී යයි.

    මේ අනුව, පැහැදිලි වන්නේ මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් අඩකටම දායක වන බස්නාහිර පළාතේ ආර්ථික ශක්තිය මැතිවරණ වියදම් වලින්ද පෙනෙන බවයි.

    මීට අමතරව, මේ ආකාරයෙන් විශාල මුදලක් වියදම් කර තිබෙන අපේක්ෂකයින් බහුතරයක්ම ජයගෙන තිබේ.