August, 25, 2025
ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC), කොළඹ කොටස් හුවමාරුව (CSE) සහ අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව 2025 වර්ෂය සඳහා සංවිධානය කරන ලද ‘කැපිටල් මාර්කට් මාස්ටර්ස්’ ප්‍රශ්න විචාරාත්මක තරගාවලියේ අවසන් මහා තරඟය කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ පිහිටි ප්‍රසිද්ධ වෙළඳ භූමියේදී පැවැත්විණි. එහිදී අම්පාර/දෙහිඅත්තකණ්ඩිය ජාතික පාසල (නැගෙනහිර පළාත) සමස්ත ශූරයන් බවට පත් වූ අතර, කොළඹ රාජකීය විද්‍යාලය (බස්නාහිර පළාත) අනුශූරතාවය සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය (දකුණු පළාත) තෙවන ස්ථානය දිනා ගත්තේය.
2023 දී ශ්‍රී ලංකාව පුරා පාසල්වල ප්‍රාග්ධන වෙළඳපොළ සමාජ 100ක් පිහිටුවීමේ ව්‍යාපෘතිය දියත් කිරීමෙන් පසුව, අඛණ්ඩව දෙවන වසරටත් පැවැත්වූ කැපිටල් මාර්කට් මාස්ටර්ස් තරගාවලිය මගින් දිවයින පුරා සිටින දීප්තිමත් සිසුන් ඒකරාශී කරමින් ඔවුනට ගෝලීය වෙළඳපොළ, ශ්‍රී ලංකා ආර්ථිකය සහ ව්‍යාපාර, සාමාන්‍ය දැනුම, කාලීන සිදුවීම් මෙන්ම ක්‍රීඩා සහ විනෝදාස්වාදය වැනි ක්ෂේත්‍රවල ඔවුන්ගේ දැනුම ප්‍රදර්ශනය කිරීමට වේදිකාවක් දුන්නේය. පාසල් සිසුන් අතර මූල්‍ය සාක්ෂරතාවය ප්‍රවර්ධනය කිරීමේ අඛණ්ඩ උත්සාහයේ තවත් එක් කොටසක් ලෙස මෙමගින් පාසල් සිසුන් අතර ප්‍රාග්ධන වෙළඳපොළ සහ පුළුල් ආර්ථික සංකල්ප පිළිබඳ දැනුවත්භාවය ප්‍රවර්ධනය කිරීම මෙහිදී අපේක්ෂා කරන ලදී.
කොළඹ කොටස් වෙළඳපොළේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා සිය ආරම්භක දේශනයේදී මෙම ජාතික ශුරතා තරඟයට පිවිසීම පිළිබඳව සිසුන්ට සුබ පැතූ අතර, “මෙම ජයග්‍රහණය ඔබේ වෙහෙස මහන්සි වී වැඩ කිරීම, කුතුහලය සහ නොපසුබට උත්සාහයේ ප්‍රතිපලයක් බවත්, මෙහි සිටින සෑම කෙනෙකුම ඒ ඒ කාණ්ඩයන්හි හොදම දක්ෂතා පෙන්නුම් කල අය බවත්, ඉගෙනීම සඳහා ඔබ තුල ඇති උද්‍යෝගය සැබවින්ම ආශ්වාදජනක බවත් කියා සිටියේය. ඔහු තවදුරටත් අදහස් දක්වමින් “මූල්‍ය සාක්ෂරතාවය යනු හුදෙක් අධ්‍යයන අභ්‍යාසයක් නොවන අතර එය අත්‍යවශ්‍ය ජීවන කුසලතාවයක් බවත්, මූල්‍ය සංකල්ප අවබෝධ කර ගැනීම තුලින් ඔබට දැනුවත් තීරණ ගැනීමට, අවදානම් කළමනාකරණය කිරීමට සහ අවස්ථාන් මනාව හදුනා ගත හැකි බවත් එය ඔබට පමණක් නොව අපගේ සමස්ථ ආර්ථික වර්ධනයට සඳහාද ප්‍රයෝජනවත් වන කුසලතාවයක් බවත්" පැවසූහ.
මෙම අවස්ථාවට එක්වෙමින් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ (SEC) නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තුෂාර ජයරත්න මහතා පවසා සිටියේ “සෑම සිසුවෙකුටම තම මූල්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කර ගැනීමට ඇති අවස්ථාව සහතික කරමින් 06 ශ්‍රේණියේ සිට පාසල් විෂය මාලාවට ප්‍රාග්ධන වෙළඳපොළ පිළිබඳ පාඩම් ඇතුළත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සහ ජාතික අධ්‍යාපන ආයතනය සමඟ එක්ව සමීපව කටයුතු කරන බවයි."
කලාපීය වශයෙන් කාණ්ඩ 4ක් ඔස්සේ පවත්වන ලද කාණ්ඩ තරග සාර්ථකව නිම කිරීමෙන් පසුව “කැපිටල් මාර්කට් මාස්ටර්ස්” ජාතක මට්ටමේ අවසන් තරඟ පැවැත්විණි. ඉහළම ගෞරව දින ගනිමින් පළාත් වශයෙන් ජයග්‍රහණය කල කණ්ඩායම් නවයක් (09) අවසන් මහා තරගාවලියට එක් වීමට කොළඹට පැමිණියහ. 2025 වර්ෂයේ මෙම තරගාවලියෙන් කාණ්ඩ ශූරයන් බවට පත් වූයේ:
සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සහ කොළඹ කොටස් හුවමාරුව එක්ව සංවිධානය කල මෙම "කැපිටල් මාර්කට් මාස්ටර්ස්" ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන සඳහා ප්ලැටිනම් අනුග්‍රාහක දායකත්වය දක්වන ලද්දේ, ඒෂියා සෙකියුරිටීස් (පුද්) සමාගම විසිනි.
මෙම ප්‍රශ්න විචාරාත්මක තරගාවලිය මගින් රට පුරා සිටින දක්ෂ සිසුන්ට දිනෙන් දින වෙනස් වෙමින් වර්ධනය වන මූල්‍ය ක්ෂේත්‍රයට අදාළ වැදගත් කරුණු පිළිබඳ ඔවුන්ගේ දැනුම පුළුල් කර ගැනීමට අගනා අවස්ථාවක් ලැබී තිබේ.
ඡායාරූපය - 2025 ප්‍රාග්ධන වෙළඳපොළ මාස්ටර්ස් ප්‍රශ්න විචාරාත්මක තරඟයේ ශූරතා දිනූ දෙහිඅත්තකණ්ඩිය ජාතික පාසල.