February, 24, 2016
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තුමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම දත්ත වාර්තා අනුව 2016 ජනවාරි මාසයේ දී ජාතික පාරිභෝගික මිල දර්ශකයේ විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2015 දෙසැම්බර් මාසයේ දී වාර්තා කළ 4.2% සිට -0.7% දක්වා පහළ ගොස් තිබේ. 2015 අනුරූප කාලපරිච්ඡේදයේ දී පැවති ඉහළ පදනම මීට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ.
මේ අතර වාර්ෂික සාමාන්‍ය පදනම මත උද්ධමනය 2015 දෙසැම්බර් මස වාර්තා වූ 3.8% සිට 2016 ජනවාරි මාසයේ දී 2.9% දක්වා පහළ ගොස් ඇත. එමෙන්ම ජාතික පාරිභෝගික මිල දර්ශකය 2015 දෙසැම්බර් සිට 2016 ජනවාරි දක්වා 1.1% කින් අඩු වී තිබේ.
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තුමේන්තුව සඳහන් කරන පරිදි ජනවාරි මාසය තුළ දී ආහාර හා මධ්‍යසාර නොවන පාන වර්ග අයත් කාණ්ඩයේ අයිතමයන් හි මිල ගණන් පහළ යාම, දර්ශකයේ මෙම මාසික පහළ යාම කෙරෙහි ප්‍රධාන වශයෙන් හේතු වී ඇත. එළවළු, අමු මිරිස්, දෙහි, ලොකු ළූනු, අර්තාපල් සහ පොල් මිල ගණන් ජනවාරි මාසය තුළ පහළ ගොස් තිබේ.
මේ අතර නැවුම් මත්ස්‍ය, කරවල, ඇතැම් පළතුරු වර්ග සහ බිත්තර මිල ගණන් මෙන්ම මධ්‍යසාර පාන, දුම්කොළ හා මත්ද්‍රව්‍ය, රෙදිපිළි හා පාවහන් උපකාණ්ඩවල මිල ගණන් ද ජනවාරි මාසය තුළ ඉහළ ගොස් ඇත.
නිවාස, ජලය, විදුලිය, ගෑස් හා අනෙකුත් ඉන්ධන, ගෘහ භෘණ්ඩ, ගෘහ උපකර්ණ හා දෛනික ගෘහ ඒකක නඩත්තුව, සෞඛ්‍ය, සන්නිවේදන, විනෝදාත්මක හා සංස්කෘතික, අධ්‍යාපන, ආපනශාලා හා හෝටල් සහ විවිධ භාණ්ඩ හා සේවා උපකාණ්ඩවල මිල ගණන් 2016 ජනවාරි මාසය තුළ දී නොවෙනස්ව පැවති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තුමේන්තුව නිවේදනය කර සිටී.
Video Story