අයවැයට එරෙහිව කොටස් ආයෝජකයෝ මුනිවත රකිති

    November, 12, 2016

    ඊයේ (11) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 6,415.59 ක් දක්වා ඒකක 5.19 කින් පහළ ගිය අතර ගෙවී ගිය මාස 32 ක කාලපරිච්ඡේදය තුළ වාර්ත වූ අඩුම දෛනික පිරිවැටුම දිනය අවසානයේ දී වාර්තා වීම දක්නට ලැබුණු සුවිශේෂී සිදුවීම විය.

    ඊයේ දින පිරිවැටුම රුපියල් මිලියන 112.43 ක්වූ අතර එය 2014 වසරේ මාර්තු 17 වැනි දින වාර්තා වූ රුපියල් මිලියන 91 ක දෛනික පිරිවැටුමෙන් පසු වාර්තා වූ අවම අගයයි.

    මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී කොටස් තැරැව්කරුවකු කියා සිටියේ, අයවැය යෝජනා තුළින් බලාපොරොත්තු වූ පරිදි කොටස් වෙළඳපොළ වෙත සාධනීය බලපෑමක් ඇති කරන කිසිදු යෝජනාවක් මෙවර අන්තර්ගත නොවීමත්, රජයේ බදු ආදායම ඉහළ නංවා ගැනීමේ අරමුණින් ආයතනික බදු හා රඳවා ගැනීමේ බදු සංශෝධනයන්ට ලක් කිරීම, සමාගම්වල ලාභදායීත්වය කෙරෙහි අහිතකර ලෙස බලපෑ හැකි බවත්ය.