අයවැයට කොටස් වෙළෙඳපොළෙන් පැසසුම්

    November, 23, 2015

    කොළඹ කොටස් වෙළෙඳපොළ අද දිනය තුළ ගනුදෙනු ආරම්භ වී පැයක් ඉක්ම යන්නටත් මත්තෙන් සියලු කොටස් මිල දර්ශකය ඒකක 54 කින් ඉහළ ගොස් තිබිණි. එසේම දිනයේ පළමු මිනිත්තු 45 තුළ දී වාර්තා වී තිබුණු පිරිවැටුම රුපියල් මිලියන 500 කි.

    පසුගියදා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අයවැය යෝජනා හරහා කොටස් වෙළෙඳපොළ වෙත සුභදායී තීරණ කිහිපයක්ම ප්‍රකාශයට පත් කර තිබිණ. කොටස් ගනුදෙනු සඳහා අයකරන 0.3% ක්වූ ගනුදෙනු බද්ද අහෝසි කිරීම, ලැයිස්තුගත සමාගම් විසින් කොටස් හිමියන්ට ගෙවිය යුතු අවම ලාභාංශ ප්‍රතිශතයක් තීරණය කිරීම ඒ අතුරින් ප්‍රධානය.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කොළඹ කොටස් වෙළෙඳපොළ සභාපති වජිර කුලතිලක මහතා පවසන්නේ මෙය දූරදර්ශී අරමුණු සහිත අයවැයක් බවත්, පසුගිය අයවැය කිහිපයකදී මෙන්ම මෙවර අයවැය තුළින් ද මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ සංවර්ධනය සඳහා වැදගත් තීරණ රැසක් ගෙන ඇති බවයි.

    ස්කන්ධ ප්‍රාග්ධන අරමුදල් හරහා ව්‍යවසායකයින්ට අරමුදල් එක්රැස් කර ගැනීමට අවස්ථා උදාකර දීම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් ලැයිස්තුගත කිරීම සඳහා නව ගනුදෙනු පුවරුවක් ස්ථාපිත කිරීම ආදිය මෙහිදී කොටස් වෙළෙඳපොළ සභාපතිවරයාගේ පැසසුමට පාත්‍රව ඇත.

    එසේම රාජ්‍ය ව්‍යවසායන් කොටස් වෙ‍ළෙඳපොළ තුළ ලැයිස්තුගත කිරීමට පියවර ගැනීම, කොටස් වෙළෙඳපොළේ ද්‍රවශීලතාව වර්ධනය කිරීමට මනා පිටිවහලක් වන බව සභාපතිවරයාගේ අදහසයි.

    පහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ අද දින පළමු මිනිත්තු 45 තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ හැසිරී තිබුණු ආකාරයයි.