අර්ථ සාධක අරමුදලේ Unrealized profits ඇත්තටම ලාභ ලෙස සැලකිය හැකිද?

    September, 13, 2014

    සේවක අර්ථ සාධක අරමුදල විසින් කොළඹ කොටස් වෙළඳ පොළේ සිදුකර තිබෙන ඇතැම් ආයෝජන දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබෙද්දී මහ බැංකුව පවසා තිබෙන්නේ අර්ථ සාධක අරමුදල විසින් කොටස් වෙළඳ පොළේ සිදුකර තිබෙන ආයෝජනවල විකුණා නොමැති කොටස් වලින් සැප්තැම්බර් 11 වනදා වනවිට රුපියල් බිලියන 10 කට වැඩි ශුද්ධ ලාභයක් (net unrealized profits) ලබා තිබෙන බවයි.

    මෙහි unrealized profits යන ඉංග්‍රීසි වචනයෙන් හඳුන්වන ලාභ සත්‍ය වශයෙන්ම ලැබී තිබෙන ඒවා නොවේ. සැප්තැම්බර් 11 වනදා වනවිට අදාළ කොටස් විකුණුවා නම් එම ලාභය ලබාගන්නට තිබුණි. නමුත්, එම කොටස් විකිණීම සිදු නොකරන නිසා එම ලාභ unrealized profits හෙවත් සත්‍ය වශයෙන්ම ලැබී නොමැති ලාභ ලෙස හඳුන්වයි. මේ නිසා, අනාගතයේදී මෙම ලාභ අඩුවීමට, නැතිවී යාමට හෝ වැඩිවීමට පුළුවන.
    මේ අතර, මහ බැංකුව පවසා තිබෙන්නේ මේ වසරේ මේ දක්වා සේවක අර්ථ සාධක අරමුදල විසින් රුපියල් බිලියන 3.4 ක ප්‍රාග්ධන ලාභයක් සහ ලාභාංශයක් වාර්තා කර තිබෙන බවයි.

    සේවක අර්ථ සාධක අරමුදල විසින් විකුණා නොමැති කොටස් වලින් විශාල අලාභයක් (unrealized losses) වාර්තා කර ඇතැයි පසුගිය කාලයේදී චෝදනා එල්ල වනවිට මහ බැංකුව පැවසුවේ එවැනි අලාභයක් පැවතියත් එම කොටස් විකුණන්නේ අරමුදලට ලාභයක් ලැබෙන විට බවයි.
    මේ නිසා, නොවිකුණූ කොටස් වලින් අරමුදල අලාභ (unrealized losses) ලබනවා යැයි කීම තර්කානුකූල නැතැයි මහ බැංකුව එකළ සඳහන් කළේය.

    සේවක අර්ථ සාධක අරමුදල විසින් භාණ්ඩාගාර බිල්පත්වල සහ බැඳුම්කරවල ආයෝජනය කිරීම මගින් සැලකිය යුතු ලාභයක් ලබන බව සඳහන්ය. මේ අනුව, රජයේ සුරැකුම්පත්වල ආයෝජනය කිරීම මගින් අරමුදල 2011 වසරේදී රුපියල් බිලියන 112.3 ක්, 2012 වසරේදී රුපියල් බිලියන 117.4 ක් සහ 2013 වසරේදී රුපියල් බිලියන 131.4 ක් ලාභ ලබා ඇතැයි මහ බැංකුව පවසා තිබේ.

    Unrealized profits ඇත්තටම ලාභ ලෙස සැලකිය හැකිද ?

    තවමත් විකුණා නොමැති කොටස් වලින් ලැබූ ලාභ සත්‍ය වශයෙන්ම ලාභ ලෙස සැලකිය හැකිදැයි ප්‍රශ්නයක් තිබේ.
    ඒ එම ලාභය ලැබෙන්නේ එම කොටස් එදිනට විකුණන්නේ නම් පමණක් නිසයි. විචාරකයින් පවසන්නේ විකුණා නොමැති කොටස් වලින් ලබන අලාභ (unrealized losses) අලාභ ලෙස පැවසීමට මහ බැංකුව මැලිවන විට විකුණා නොමැති කොටස් වලින් ලබන ලාභ (Unrealized profits) ලාභ ලෙස සැලකීමට හැකිද කියායි.

    ඒ එම ලාභ කොටස් විකුණන අවස්ථාවේදී වෙනස් වීමට හැකි නිසාය.