අර්ථ සාධක අරමුදල කොටස් වෙළෙඳපොළට යවන්න ADB සමඟ හොර ගිවිසුමක්

    May, 14, 2018

    සේවක අර්ථ සාධක අරමුදලේ මුදල්, කොළඹ කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීම සඳහා ආණ්ඩුව විසින් ආසියානු සංවර්ධන බැංකුව සමඟ හොර ගිවිසුමක් ගසා ඇති බව අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා පවසයි. ඊයේ (13) පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව කියා සිටියේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපතිවරයා මෙසේ පැවසීය.

    “මේ රටේ වැඩ කරන ජනතාවට අයිති සේවක අර්ථ සාධක අරමුදල. හැම අවස්ථාවේම, හැම පාලකයෙක්ම , හැම ආණ්ඩුවක්ම කොල්ල කන්න සැලසුම් හදපු, වැඩ පිළිවෙල් හදපු, න්‍යාය පත්‍රයන් හදපු, සේවක අර්ථ සාධක අරමුදල අවදානමට හෙලීමේ ක්‍රියාවලියක් කරළියට ඇවිල්ලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් මේ රයේ පෞද්ගලික අංශයේ සේවකයින් නියෝජනය කරන විශාලම වෘත්තීය සමිතිය හැටියට, ඒ සේවකයින්ගේ අයිතිවාසිකමක් වන සේවක අර්ථසාධක අරමුදල රැක ගැනීම වෙනුවෙන් .“

    “රනිල් මෛත්‍රී ආණ්ඩුව, සේවක අර්ථ සාධක අරමුදල උගස් තියලා, ඩොලර් මිලියන 300 ක ණයක් ගන්න ගිවිසුමක් ගහලා තියෙනවා. මේ හොර ගිවිසුම ගහලා තියෙන්නේ 2016. ගහලා විතරක් නෙමෙයි, ඒ ගිවිසුම ගහලා, ඒ ගිවිසුම අනුව ඩොලර් මිලියන 125 ක් අරගෙන තියෙනවා. ඉතුරු 175 ගන්න නං ADB – USA joint project එකක් මේක. මේක ආණ්ඩුවට ඉදිරිපත් කරන්නේ ආසියානු සංවර්ධන බැංකුව. මේක හදන්නේ ඇමරිකානු සමාගමක්. මේක නම් කරලා තියෙන්නේ EPF ධවල පත්‍රිකාව ලෙස.“

    “2012 දී මේකට මුල්ගල තියලා තියෙන්නේ. ADB එකත් මේ ඇමරිකානු සමාගමත් එක්ව සේවක අර්ථ සාධක අරමුදල ප්‍රාග්ධන වෙළෙඳපොළට යැවීමට, කොටස් වෙළෙඳපොළ තමයි මේකේ focus කරලා තියෙන්නේ. කොටස් වෙළෙඳපොළට සේවක අර්ථ සාධක අරමුදල යොමු කිරීම ඉලක්ක කර ගෙන තමයි මේ ධවල පත්‍රිකාව හදලා තියෙන්නේ. මේ ධවල පත්‍රිකාව කරුණු කාරණා ගණනාවක් හෙළිකරනවා. ඒ කරුණු කාරණාවලින් තමයි මේක 2012 දී පටන් ගන්නේ. 2016 මේකට අදාළ ගිවිසුම අත්සන් කරලා මේ රනිල් - මෛත්‍රී හවුල් ආණ්ඩුව ඩොලර් මිලියන 125 ක් අරන් තියෙනවා.“

    “මේකේ වුවමනාව, ආණ්ඩුව 2025 දී ආර්ථික සංවර්ධනය ඇති කිරීමට අත්පත් කරගන්න වැඩපිළිවෙලේ එකක් හැටියට මේ හදන්න යන්නේ. මේ ධවල පත්‍රිකාව ඉදිරිප්ත කරලා සේවක අර්ථ සාධක අරමුදලේ සල්ලි කොටස් වෙළෙඳපොළට යැවීම මේකේ පියවරෙන් පියවර සඳහන් කරනවා.“

    “මේ වගේම 2008-2012 රජපක්ෂ පවුල් පාලනය කාලේ අපේ රටේ කොටස් වෙළෙඳපොළ ලෝකේ හොඳම කොටස් වෙළෙඳපොළ බවට පත් කළා. අද මොකද වෙලා තියෙන්නේ. ගහන්න ජැක් නැතුව වැටිලා වැටිලා හාන්සි වෙලා තියෙන්නේ කොටස් වෙළෙඳපොළ. ඇයි ගැහුවේ ජැක් මේ වගේ. 2008-2012 විතරක් කොටස් වෙළෙඳපොළ ආයෝජනයන් විසින් සේවක අර්ථ සාධක අරමුදලට වෙච්ච පාඩුව කෝටි 2,800 යි. අපේ වෘත්තීය සමිති 11 ක් නඩුවක් දැම්මා ශ්‍රේෂ්ඨාධිකරණයේ. රජපක්ෂ මහත්තයාගේ අග්‍රවිනිශ්චයකාරතුමා කිව්වා, බිස්නස් කරපුවාම පාඩු වෙනවා. ඒක නිසා පාඩුව දරා ගන්න ඕනේ අරමුදල විසින්.“

    “අපි බිස්නස් කරන්න නෙමෙයි මේ සල්ලි දුන්නේ. සේවකයාගේ සල්ලි විශ්‍රාමයක් නැති සේවකයාට ජීවිතේ අවසාන කාලේ ගන්න තියෙන සල්ලි. මෙහෙම එදා කරපු බිස්නස් එකම අද තවදුරටත් continue කරන්න යනවා. මොකද අපේ රටේ කොටස් වෙළෙඳපොළ ගොඩගන්න වෙන සල්ලි නැහැ. තියෙන්නේ සේවකයාගේ සල්ලි.“