අර්බුදයට පත් චට්වුඩ් හි, මිලියන 1.7 ක කොටස් මිලදී ගත්තේ කවුද ?

    March, 5, 2014

    මූල්‍ය අර්බුදයට පත්ව තිබෙන ටච්වුඩ් රුක් රෝපණ සමාගමේ කොටස් මිලියන 1.7 ක් අද කොළඹ කොටස් වෙළඳ පොළේ අලෙවි වූ අතර එම කොටසක් විකිණී තිබෙන්නේ එකක් රුපියල් 2.40 ක මිලකටයි.

    මෙම කොටස් මිලදීගත්තේ කවුරුන්දැයි තවමත් අනාවරණය නොවන අතර මෙම සමාගමට එරෙහිව මේ වනවිට අධිකරණ ක්‍රියා මාර්ගයක් පවතී.

    මේ අතර, අද දිනයේදී ඩයලොග් සමාගමේ කොටස් මිලියන 2.4 ක් සහ ෆ්‍රී ලංකා කැපිටල් හෝල්ඩින්ග්ස් සමාගමේ කොටස් මිලියන 3.2 ක් ගනුදෙනු වී තිබේ.

    අද දිනයේදී සමස්ත මිල දර්ශකය ඒකක 0.19 කින් පහළ ගොස් ඒකක 5,936.43 ක් වෙද්දී එස් ඇන්ඩ් පී මිල දර්ශකය ඒකක 4.45 කින් පහළ ගොස් ඒකක 3,216.97 ක් වී ඇත.

    කොළඹ කොටස් වෙළඳ පොළේ අද දිනයේ කොටස් මිලියන 19 ක් ගනුදෙනු වූ අතර දිනයේ පිරිවැටුම රුපියල් මිලියන 281 කි.

    මෙහිදී, ජෝන් කීල්ස් කොටසක් ශත 90 කින් ඉහළ ගොස් රුපියල් 221 ක්වූ අතර ලංකා දුම්කොළ සමාගමේ කොටසක් රුපියල් 14.20 කින් ඉහළ ගියේය. මේ අතර, කොමර්ෂල් බැංකුවේ කොටසක් රුපියලකින් පහළ ගොස් රුපියල් 114 ක් වෙද්දී ජාතික සංවර්ධන බැංකුවේ කොටසක් රුපියලකින් පහළ ගොස් රුපියල් 179 ක් ලෙසින් සටහන් විය. හැටන් නැෂනල් බැංකුවේ කොටසක් ශත 50 කින් පහළ ගොස් ගනුදෙනු අවසානයේදී සටහන් වූයේ රුපියල් 151.50 ක් ලෙසිනි.

    ඡායාරූපයේ සිටින්නේ චට්වුඩ් සමාගමේ සභාපති, විජන් ලංකා කිවුලේ ගෙදරයි.